පාස්පෝට් නිකුත් කිරීමේ බලය තමන්ට ඇති බවට එපික් ලංකා (Epic Lanka) සමාගම සිදු කරන ප්‍රකාශවලට අනුව එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුම් අත්සන් කර ඇත්දැයි වහාම විමර්ශනයක් කරන ලෙස ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙලෙස ප්‍රකාශ කළේ නුගේගොඩ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“එපික් ලංකා සමාගම මීට පෙර ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ සිදු වූ දත්ත වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක් වුණා. පසුගිය කාලයේ මෙරට පාස්පෝට් නිකුත් කිරීමේ ගැටලුවක් මතු වුණා. ඒත් සමඟ චිප් එකක් සහිත වඩා වැඩි ආරක්ෂක විශේෂාංග සහිත E Passport එකක් නිකුත් කරන්න රජය තීරණය කළා. ඒ අනුව ටෙන්ඩර් කැඳවීමේදී සමාගම් හතරක් ඉදිරිපත් වුණා. එයින් සමාගම් තුනක් තමයි සුදුසුකම් ලැබුවේ. ඒ අතරින් අඩුම ප්‍රමාණය ඉදිරිපත් කර තිබූ ප්‍රංශයේ thales සමාගමට සම්බන්ධ Just in Time සමාගමට ටෙන්ඩරය දෙන්න තමයි තීරණය වුණේ. හැබැයි අවුරුදු 21ක් පුරා මෙරට පාස්පෝට් නිකුත් කිරීමට මැදිහත් වුණ Epic Lanka සමාගම මේ ටෙන්ඩර් කැඳවීමේ ප්‍රශ්නයක් තියනවා කියලා අධිකරණයට ගියා. ඒ කටයුත්ත එක්ක තමයි විද්‍යුත් පාස්පෝට් සම්බන්ධ කතාව පස්සට ගිහිල්ලා විශාල පාස්පෝට් පෝලිමක් නිර්මාණය වුණේ. Epic Lanka සමාගම දිගින් දිගටම කියලා තිබුණෙ මෙරට පාස්පෝට් නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නේ ඔවුන්ට. ඒ නිසා වෙනත් සමාගමකට මේක දෙනවා නම් ඒ සඳහා ගෙවීමක් අවශ්‍යයි කියලා. නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වුණා.
දැනට පාස්පෝට් ලක්ෂ හතහමාරක් නිකුත් කරනවා Just in Time සමාගම. ඒ නිකුත් කරන සෑම පාස්පෝට් එකකටම ඩොලර් 1.45 ගාණේ ගෙවන්න වෙලා තියනවා Epic Lanka සමාගමට. එතකොට මෙතැන ඩොලර් මිලියනයක් විතර මුදල් ප්‍රමාණයක්. මේක අනවශ්‍ය සහ විශාල මහජන මුදල් විනාශයක්. ඩොලර් මිලියනයක් මහජන මුදල් නිකං සමාගමට දෙන්න රජයට කිසිම අයිතියක් නෑ. ඒ නිසා වහාම ඒ කටයුත්ත නවත්තන්න මැදිහත් වෙන්න.”