රටේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා බලය ගත් ජාතික ජන බලවේගය පරණ සිස්ටම් එකේම ගමන් කරන බවත් ඒ නිසා රටේ වෙනසක් පැතූ ජනතාවගේ බලාපොරොත්තු දැන් සුන් වීමට පටන් ගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත්දා (25) යක්කල පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“රජයක් බලයට පත්වූ විට රජයේ ආයතන, සංස්ථා සහ මණ්ඩලවලට රජය බලයට පත් කරන්න උදව් කළ තම පාක්ෂිකයන් පත් කරනවා. ඒ අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර මහතා ද බලයට පත්වූ විගසම එම ආයතනවලට ඔවුන්ගේ හිතවත් පාක්ෂිකයන් පත් කළා. එසේ පත් කළ ඇතැමුන් විවිධ චෝදනාවලට ලක් වූ අය. මේ ගැන ඇතැම් අය ඔවුන්ට පෙන්වා දුන්නා. ඒත් ඔවුන් ඒ අය ඉවත් කළේ නෑ.
අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. නමුත් ඔවුන් බලයට ආවේ අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කියලා. ඒ වුණාට ඔවුන්ට එය පාලනය කර ගන්න බෑ. සහල් මිල නොසිතූ අන්දමින් දිනෙන් දින ඉහළ යනවා. සිනී, පරිප්පු, අල සහ රට ලූනු වැනි භාණ්ඩ මිලත් ඉහළ යමින් පවතිනවා. ඒ නිසා අද ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. එයින් පෙනී යන්නේ ඔවුන්ට රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩවල මිල පාලනය කරන්න නොහැකි බවයි.
හොරුන් අල්ලනවා කියලයි ජාතික ජන බලවේගය බලයට ආවේ. හොරුන් ඇල්ලුවා නම් රටේ සොරකම් අඩු වෙන්න ඕනෙ. නමුත් සොරකම් අඩු වෙලා නෑ. තැන තැන වෙඩි තැබීම්, මිනීමැරුම් අසන්න ලැබෙනවා. ඒ හේතුවෙන් ජනතාව දැන් ජීවත් වන්නේ බියෙන් සහ සැකෙන්. ”