Saturday, May 3, 2025
Home » සල්ලි අච්චු ගැහුවේ නෑ 

සල්ලි අච්චු ගැහුවේ නෑ 

ශ්‍රී ලංකා මහ බැංකුව

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළ වී ඇති වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට (විවට වෙළෙඳපොළට මුදල් නිකුත් කිරීම) ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බව මහ බැංකුව මේ සම්බන්ධයෙන් සිදුකරන කරුණු පැහැදිලි කිරීමේ සඳහන් වේ.

ඒ අනුව මෑතකදී ඇතැම් වාර්තාවල පළ වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවට වෙළෙඳපොළ කටයුතුවලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳවය. එමඟින් රජයේ අය-වැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදු වී නැති අතර, මෙහිදී සිදු වී ඇත්තේ මහ බැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟා කර ගැනීම සඳහා සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බව මහ බැංකුව සඳහන් කරයි.

විවට වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බව ද මහ බැංකුව අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන මහ බැංකුව මුදල් අච්චු ගැසීම යනු කුමක්දැයි සඳහන් කරමින් මෙසේ ද කියා සිටී. මුදල් අච්චු ගැසීම යන්නෙන් අදහස් කරන්නේ මහ බැංකුව ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමයි.

ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල, අලුතින් මුදල් නිකුත් කිරීම යනු සංචිත මුදල් හෙවත් පදනම් මුදල් නිකුත් කිරීමකි.

මහ බැංකුවේ මුදල් නිකුත් කිරීම මත වාණිජ බැංකුවලට මුදල් මැවීමට ඇති හැකියාව නිසා මෙම සංචිත මුදල් අධිබලැති මුදල් ලෙස ද හඳුන්වනු ලබයි.

මහ බැංකුවේ ශේෂ පත්‍රයේ මෙම සංචිත මුදල්, මුදල් වගකීම් ලෙස දක්වනු ලබයි. මෙයට මහ බැංකුව විසින් නිකුත් කළ සමස්ත සංසරණයේ පවතින මුදල් සහ මහ බැංකුව සතු වාණිජ බැංකුවල තැන්පතු ඇතුළත් වේ.

ආර්ථිකයේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් වන පරිදි 2024 වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචිත මුදල් වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 147කින් පමණි. 2024 වසරේදී සංචිත මුදල්වල මෙම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් මහ බැංකුව විදේශ විනිමය මිලට ගැනීම තුළින් සිදු වී ඇති අතර, මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් පහළ යෑමක් ද මෙම කාලය තුළ සිදුව තිබේ.

ලොව පුරා මහ බැංකු ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම සඳහා මීට සමාන විවට වෙළෙඳපොළ කටයුතු නිතිපතා සිදු කරනු ලබයි. මෙම මෙහෙයුම් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වන අතර, මුදල් ප්‍රතිපත්තිය හැසිරවීමේදී ද්‍රවශීලතාව කළමනාකරණය සඳහා මෙම විවට වෙළෙඳපොළ කටයුතු මහ බැංකුව විසින් සිදු කරනු ලබන කටයුත්තකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT