Home » ඉන්දු – ලංකා ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක්

ඉන්දු – ලංකා ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක්

by chanaka
October 30, 2024 11:18 am 0 comment

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ධීවර කටයුතු පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (JWG) 6 වැනි රැස්වීම ඊයේ(29)කොළඹදී පැවැත්විණි. එහිදී මෙම තීරණයට එළෙඹ ඇත.

කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ, සාකච්ඡා සඳහා ඉන්දීය ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නියෝජිතයින් 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වූ බවයි.

නියෝජිත පිරිස ධීවර හා ධීවර ක්ෂේත්‍රයට අදාළ සියලුම ගැටලු පිළිබඳ පුළුල් සමාලෝචනයක් එහිදී සිදු කර තිබුණි.

ධීවරයින් මුහුණ දෙන විවිධ ගැටලු දෙපාර්ශ්වයේම ජීවනෝපාය ගැටලුවලට අදාළ වන බැවින් මානුෂීය ආකාරයෙන් ඒවාට විසඳුම් ලබාදීමට ඉහළම ප්‍රමුඛතාව දිය යුතු බවට දෙපාර්ශවයම එකඟ වී ඇත. දෙපාර්ශ්වයේම ධීවරයින් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කල් පවතින පදනමක් නිර්මාණය කළ හැක්කේ මානුෂීය, නිර්මාණාත්මක සහ සහයෝගී ප්‍රවේශයකට පමණක් බව ද ඔවුහු තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු කඩිනමින් නිදහස් කරන ලෙස ඉන්දීය පාර්ශවය ශ්‍රී ලංකා රජයෙන් මෙහිදී ඉල්ලීමක් කර තිබුණි. ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රා ශ්‍රී ලංකා අත්අඩංගුවේ රඳවා තබා ගැනීම, දීර්ඝ සිරදඬුවම් සහ අධික දඩ නියම කිරීම වැනි සිද්ධි පෙන්වා දුන් ඉන්දීය පාර්ශවය ධීවරයින් සම්බන්ධ ගැටළු අවබෝධයන් විසදීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඉන්දීය නාවික හා වෙරළාරක්ෂක බලධාරීන් සහ ඔවුන්ගේ ශ්‍රී ලංකා සගයන් අතර පවතින සහයෝගීතාවය ඉස්මතු කරමින්, නිරීක්ෂණ සහ මුර සංචාර, ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංකය හරහා නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීම සහ අනෙකුත් සියලුම මෙහෙයුම් කටයුතු ඇතුළුව වැඩිදියුණු කරන ලද සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශවය එකඟ විය. අවාසනාවන්ත තුවාල හා ජීවිත අහිමිවීම්වලට තුඩු දුන් මුහුදේ මෑත කාලීන ඛේදජනක සිදුවීම් පිළිබඳව ඉන්දීය පාර්ශවයේ අවධානය යොමු වූ අතර, ඕනෑම තත්වයක් යටතේ බලය යෙදවීම වැළැක්විය යුතු බව තරයේ අවධාරණය කළේය.

ධීවරයින් සම්බන්ධ ගැටළු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා දෙරට අතර ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමේ එකඟතාවකට ද මෙහිදී දෙපාර්ශවය පැමිණ තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT