Home » සංචාරක භීතිය

සංචාරක භීතිය

by mahesh
October 30, 2024 1:00 am 0 comment

කටුනායක ගුවන්තොටුපළ වනාහි මගී පර්යන්තයක් සහිත ගමන් මධ්‍යස්ථානයක් නොව බෝම්බ පරීක්ෂා කරන බංකරයක් දැයි සැක සිතෙන තත්ත්වයක් උදාවී තිබේ. පෙරේදා තවත් ඉන්දීය ගුවන්යානයක් බෝම්බ භීතියක් හේතුවෙන් කටුනායක වෙත ගොඩබාන ලද්දේය. ගුවන් මගීන් 108 දෙනකු සහ ගුවන්යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් 08 දෙනකු ද සමඟ මේ යානය කටුනායක බලා එන අතරේ, මේ ආකාරයට බෝම්බ බිය හේතුවෙන් කල් ඇතිව බිමට පහත් කර තිබුණි. සාමාන්‍ය පරිදි ගොඩබෑමට විනාඩි අටකට පෙර ‘හදිස්සි ගොඩබෑමෙන්’ පසුව යානය පරීක්ෂා කරන ලද්දේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසිනි.

රතිඤ්ඤා කරලක තරම් දෙයක්වත් සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ඉතිරි කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදු විය. ඉන්දීය ගුවන් බලධාරීන් වෙත නිර්නාමික දුරකතන ඇමතුම් ලැබෙන්නේ හෙයින් මේ ආකාරයට උඩ යන ගුවන්යානා සාමාන්‍ය පරිදි ලෑන්ඩ් කරනවා වෙනුවට එමර්ජන්සි ආකාරයෙන් බිමට පහත් කර, පරීක්ෂා කිරීම් කිහිපයක් ළඟ ළඟම සිද්ධ විය.

මෙම ගුවන්යානය තුළ බෝම්බ අටවා ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලය වෙත නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබුණි. එම පණිවිඩය වහාම කටුනායක ගුවන්තොටුපොළ වෙත, ඉන්දීය ගුවන් සේවා කළමනාකරු විසින් ලබා දී තිබුණි. පණිවිඩය කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් වෙත යොමු කිරීමෙන් අනතුරුව, මෙම ගුවන්යානය හදිසි ගොඩබැස්ස වීමකට ලක් කිරීමට පියවර ගෙන තිබුණි.

ඔක්තෝබර් 19 වෙනිදා සහ 24 යන දෙදිනේ ද ඔය ආකාරයට බෝම්බ භීතිය හේතුවෙන් විස්තාරා ගුවන් සේවයේ යානා දෙකක් හදිස්සි ගොඩබෑමකට ලක් විය. මේ සියල්ල සත්‍ය කාරණා විය හැකිය. නිර්නාමික ඇමතුම් එක දිගට ලැබුණ ද එය සැහැල්ලුවෙන් ගත හැකි තත්ත්වයක් ආරක්ෂක අංශ වෙත නැත. පාස්කු දා ප්‍රහාරය සේ අතට ලැබෙන තොරතුර මඟ හැර සිටියහොත් පත්තු වන්නේ මහ එකෙන්ම බැවින් ලැබෙන හැම වචනයක්ම බරට ගැනීම ආරක්ෂක කාර්යයේදී වැදගත්ය. ඒ ගැන කිසිදු මැසිවිල්ලක් අප හමුවේ නැත.

මේ ආකාරයේ පණිවිඩයක් ලද සැණින් ගිනි නිවීම් රථ, බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, බෝම්බ හඳුනාගැනීම සඳහා පුහුණු කළ සුනඛයන්, බෝම්බ හඳුනාගැනීමේ ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් නිලධාරීන්, යුද හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගලවා ගැනීමේ මෙහෙයුම් භාර නිලධාරීන් ආදී මහ පිරිවරක් කටුනායක ගුවන් ධාවන පථය වෙත කැඳවිය යුත්තේය. ඒ සියලුදෙනා ගුවන්යානයේ හැම අස්සක් මුල්ලක්ම පරීක්ෂාවට ලක් කරන්නේ ය. ඒ අතර වාරයේ ගුවන්යානයේ සිටිනා මගින් සහ සේවක කාරකාදීන් තම තම ලබ්ධිය අනුව යැදීම් කරනවා ද ඇත. ඔය ආකාරයට පැය කිහිපයක් ගෙවා දමා, පිළිතුර නැත යන්න ලෙස ලැබෙන්නේය.

වරක් දෙවරක් නොව, ළඟ ළඟ තුන්වරක් මේ සංසිද්ධිය අප අත්දැක්කේය. ඒවා බොරු ආරංචි වීම අපගේ සිතේ සතුට දනවන්නක් වුවද, ඔය ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ වෙත ළඟා වන ගුවන්යානා බෝම්බ භීතිය ඇතිව ගොඩබෑම අපේ රටේ ආරක්ෂාව සඳහා වූ කීර්ති නාමයට ගෙන දෙන්නේ හොඳ ආස්ථානයක් නොවේ. පාස්කු දා ප්‍රහාරය ආදී සංචාරකයන් බිය වැද්දූ මතක තවම මේ රටේ ගලා යන්නේය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය සංවේදී තොරතුරු ඇතුළත් වාර්තා තමන් වෙත තැපෑලෙන් ලැබුණා යැයි කියමින් අයෙක් ඒවා උදේ හවා එළියට දමන්නාහ. මේ කතිකාවත රටේ ජාතික පුවතක් වී තිබේ. විනෝදාස්වාදය පිණිස ලක්දිවට පය තබන සංචාරකයා, මේ පුවත් දකින්නේය. ඒ අතර ආරුගම් බොක්කේ ප්‍රහාරයක් ගැන ද කතා පැතිර යන්නේය. එම සංවාදය ද මාධ්‍ය ඔස්සේ දිගටම ඇදී යන්නේය.

මේ සියල්ල කැටි කරගත්වන සංචාරක මනසට ත්‍රාසය ඇතුළු වන්නේය.

ත්‍රාසය කැටි කරගත් සංචාරක ඉසව් ලෝකයේ අපමණ ඇත්තේය. අබිරහස් ගම්මාන සහ පැරණි භූත බංගලා ආදිය ද සංචාරක ආකර්ෂණ ලෙස ඉන්දියාවේ සහ එංගලන්තයේ ඇත්තේය. හොල්මන් බලා කියා ගැනීම සඳහා ආශක්ත මනසක් සහිත සංචාරකයා ටිකට් රැගෙන ඒ සඳහා යන්නේය. රැයක් දෙකක් ඒවායේ ගත කර අද්භූත අත්දැකීම් විඳ ගන්නේය. අමෙරිකාවේ අරිසෝනා ප්‍රදේශයේ ඇති භූගත ගුහාවන් ද මේ ගණයට අයත්ය. ගාස්තුව ඉහළ සේම මෙහි ගත කිරීම සඳහා ඇති ඉල්ලුම ද ඉහළය.

ඔස්ට්‍රේලියාවේ, අප්‍රිකාවේ සංචාරයේ යෙදෙන පුද්ගලයන් හට රාත්‍රී කිහිපයක් වනාන්තර මැද්දේ ගෙවා දැමීම සඳහා වන ඉසව් තිබේ. අවම පහසුකම් යටතේ එම ත්‍රාසය විඳ ගනිමින් දින කිහිපයක් මහ මූකලානේ ගෙවා දමන සංචාරක තෙමේ, එළියට එන්නේ විජිතයක් ජයගත් රජෙක් සේය.

ජල වික්‍රම ක්‍රීඩා, දුෂ්කර කඳු තරණය, පැරෂුට් මඟින් බිමට පැනීම ආදී ත්‍රාසය පිරි දෑ රාශියක් ලෝක සංචාරක ව්‍යාපාරයේ නම ගිය අංගයන්ය. ඒ වනාහි සංචාරකයා ප්‍රියභාවයක් දක්වන ත්‍රාසය ය. කටුනායකට බෝම්බ සහිත ගුවන්යානා එනවා කියා නිතර දෙවේලේ සිදු කරන පරීක්ෂාව ඒ ආකාරයේ ත්‍රාසයක් නොවේ. එය ගෙන එන්නේ ජීවිත භය ය.

මෙම ක්‍රියාපිළිවෙත දිගින් දිගටම සිදු වන්නේ නම්, බෝම්බ බියකට වඩා දෙයක් අපගේ මනසට එන්නේය. මේ එන්නේ සංචාරක සමය ය. එය බලා, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විනාශ කිරීම සඳහා යමෙක් තැත් දරනවා ද යන්න අපට සිත් දෙන්නේ නිකම් නොවේ. එක් අතකින් ආරුගම් බොක්කේ කතාවය. අනික කටුනායකට ගොඩබාන, බෝම්බ භීතිය ය.

එහෙයින් මේ කිසිවක් සුළුවට නොගන්නා ලෙස මේ තීරුව ජනයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT