Thursday, May 15, 2025
Home » කඨින පින්කමෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මහත් ආනිසංස ලැබෙනවා

කඨින පින්කමෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මහත් ආනිසංස ලැබෙනවා

by mahesh
October 30, 2024 1:00 am 0 comment

උඩු­නු­වර ලබු­වැ­ල්පොල ත්‍රිපි­ටක ධර්මා­ය­තන පරි­වේ­ණා­ධි­පති, ශාස්ත්‍ර­පති බඹ­ර­ග­හ­ඇළ විම­ල­බුද්ධි හිමි

කඨින චීවර පූජාව හෙවත් කඨින පිංකම වනාහි මහත් වූ කුසල කර්මයක් සපිරෙන මහා පින්කමකි. මේ දිනවල ශ්‍රී ලංකාවේ නන් දෙස විහාරස්ථානයන්හි මේ මහත් පල ගෙන දෙන පින්කම් මාලාවන් සිදු කෙරේ. එසේ හෙයින් අපේ අද ධර්ම සාකච්ඡාව වෙන් වෙන්නේ වස් විසීම හා කඨින චීවර පූජාව වෙනුවෙනි. ඒ සඳහා උඩුනුවර ලබුවැල්පොල ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති, විනයාචාර්ය බඹරගහඇළ විමලබුද්ධි හිමි සමඟ කළ සාකච්ඡාව මෙසේ දිග හරිමු.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, කඨින චීවර පූජාව හෙවත් කඨින පින්කම පෙර තථාගත බුදුපියාණන් වහන්සේගේ සමයේ සිදු කළේ කෙසේද?

තථාගත බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි භික්ෂූන් වහන්සේලාට යම් නීතිරීති ශික්ෂාපද පැන වුණා. ඒ, මහජනතාවගෙන් එල්ල වූ විරෝධතා නිසාවෙන්. බුදු දහම පහළ වූ මුල් කාලය තුළ භික්ෂූන් වහන්සේලාට වැසි කාලය තුළ එක් ස්ථානයකට වී නීතියක් නොතිබූ නිසා වර්ෂය පුරාම මහජන සේවයේ යෙදී සිටියා. ශ්‍රමණයින්ට වැසි කාලය තුළ එක් තැනකට වී සිටීමටත් නියමව තිබුණා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩිනු දුටු මහජනතාව විවිධ දෝෂාරෝපණ ආදිය කරන්නටත් පටන් ගත්තා.

අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුං යනුවෙන් මේ ශික්ෂාපදය පනවමින් භික්ෂූන්ට වැසි සමයේ වස් වසන්නට අනුදැන වදාළා. වස් එළැඹීමට දින කීයක් තිබේද? යන ගැටලු මතු වූ නිසා පෙර වස් එළඹීම පසු වස් එළැඹීම යැයි වස් විසීම් දෙකක් ඇති බවත් ගිම්හාන සෘතුවේ අටවෙනි පෝය වූ ඇසළ මස පුර පසළොස්වක පෝය දිනයේ පෝය කොට වස්සාන ඍතුවේ නිකිණි මස පුර පසළොස්වක පොහෝ දින පෝය කොට පසුදින පසුවස් එළඹිය යුතුයැයි නියම කළා.

මේ දින දෙකින් එක් දිනයකදි වස් නොවිසූ භික්ෂුවට ‘දුක්කටා පත්ති’ ඇවත සිදුවන බවටද පැහැදිලි කර දුන්නා. වස් විසූ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ සති කරණයෙන් පිටත්ව යා යුතු බවටත් පිටතට ගිය පසු නැවත පැමිණිය යුතු දින ගණන ආදිය ද විශේෂයෙන් භික්ෂූන්ට අනුදැන වදාළා. ඒ වගේම වස් පවාරණය කිරීමටත් නියම කළා. ඒ අනුව පෙරවස් පවාරණය කළ භික්ෂුවට කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලැබෙනවා.

දායක පිරිස විසින් වස් ආරාධනාව නිවැරදිව කරන්නේ කෙසේද?

කඨින පූජාවක් කිරීමට බලාපොරොත්තු වෙන දායක පින්වතුන් විසින් ඇසළ මස අව පෑළවිය දිනයේදී උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාට ඉමහත් ගෞරවයෙන් යුක්තව ස්වාමීනී, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තුන්මාසයෙහි මේ ස්ථානයේ වස් සමාදන්ව වැඩ සිටින මැනවි…ඔබ වහන්සේලාට ආධ්‍යාත්ම විමුක්තිය ඇති කර ගැනීමට අවශ්‍ය සිව්පස දානයෙන් අපි උපස්ථාන කරන්නෙමු… අපට ද සීල සමාදානාදී උතුම් ප්‍රතිපත්ති රැක ගැනීමටත් ධර්ම දේශනාදිය ශ්‍රවණය කිරීමටත් විශේෂයෙන් ඔබ වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවායි ප්‍රකාශ කරමින් දැහැත් ගොටු වැසි සළු පිළිගන්වමින් ආරාධනා කළ යුතුයි. වස් කාලය පුණ්‍ය කාලයක් ලෙස සලකා භික්ෂූන්ට සිවුපසයෙන් උපස්ථාන කළ යුතු අතර තමන් ද ඉතා හොඳින් ගුණධර්ම ආරක්ෂා කළ යුතුයි.

කඨිනය යනු කුමක්ද?

කඨින යන වචනයේ තේරුම තද ශක්තිමත් යන්නයි. මහපොළොව මෙන් කම්පා නොවන පර්වතයක් මෙන් නොබිඳෙන ඉතා ශක්තිමත් වූ දෙය කඨිනය නමින් හඳුන්වනවා.

කඨින පින්කමක් නිවැරදිව සිදු කරන්නේ කෙසේද?

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන ප්‍රමාණවත් භික්ෂූන් වහන්සේලාට එසේ නොමැති නම් තුන් සිවුරෙන් එක් සිවුරක් හෝ කඨිනයට පූජා කළ හැකියි. අපේ පැරණි චාරිත්‍ර අනුව සිවුර හෝ වස්ත්‍රය ගමේ සියලු දෙනාටම සම්බන්ධ විය හැකි සේ ගෞරව සහිතව වැඩමවා වස්ත්‍රයක් නම් “ඉමං කඨින දුස්සම් භික්ඛු සංඝස්ස දේම” කියා ද, සිවුරක් නම් “ඉමං කඨින චීවරම් භික්ඛු සංඝස්ස දේම” කියාද, තෙවරක් කියා පූජා කළ යුතුයි. වස්ත්‍රයක් නම් එදිනම මසා පඬු පොවා ගැනීම සඳහා අවශ්‍ය ඉදිකටු නූල්පඬු ආදී උපකරණ ද සපයා දිය යුතුයි. තවද කඨින සිවුර පූජා කරන අවස්ථාවේදී සංඝයාගේ ප්‍රයෝජනයට ගත හැකි ලඝු භාණ්ඩ ද පූජා කළ හැකියි. කඨිනය සමඟ පූජා කරන එම භාණ්ඩ සඳහා කඨිනානිසංස පරික්කාර යැයි සඳහන් කරනු ලැබෙයි. එයින් අදහස් කරන්නේ කඨිනය සමඟ එම ස්ථානයේ ඒ දවසෙහි පූජා කරන සියලු දේ වෙනුවෙන් කඨිනානිසංස ලැබෙන බවයි. දායක පින්වතුන් ඉතා උනන්දුවෙන් කඨින පූජාවක් සිදු කරනවා සේම භික්ෂූන් වහන්සේලාද වෙනත් පූජා ලබනවාට වඩා කඨිනයක් ලැබීමේදී ඉතා උනන්දුවෙන් ඒ සඳහා සූදානම් වෙනවා. මේ පූජාව විනය නීති සමුදායකට සම්බන්ධවීමත් කරුණු රාශියක් විශේෂයෙන් සම්පූර්ණවීමෙන්ම ලැබීමත් මෙයට එක් හේතුවක්. සැදැහැවත් බෞද්ධයන් කඨින වස්ත්‍රයක් හෝ සිවුරක් පූජා කළ පසු වස් විසූ සීමාවේ සිටින භික්‍ෂූන් විසින් සිවුරක් ලැබීමට ඉතා සුදුසු භික්ෂුව තෝරා එම භික්‍ෂුවට සංඝයා විසින් සිවුර නැවත පවරනවා. පළමුව දායකයන් විසින් සංඝයාට පූජා කළ සිවුර සංඝයා විසින් සීමාවකදී විනය කර්ම වාක්‍යයකින් භික්ෂු නමකට පැවරීම ද කඨින පූජාවෙහි විශේෂ අවස්ථාවක්. මේ පූජාව සිදු කිරීමට අඩුම වශයෙන් සීමාවට භික්ෂූන් පස්නමක්වත් රැස්ව සිටිය යුතුයි. එහිදී කඨිනය පවරන භික්‍ෂුවගේ නම කර්ම වාක්‍යයට ඇතුළත් කොට ව්‍යක්ත ප්‍රතිඵලසම්පන්න භික්ෂු දෙනමක් කර්ම වාක්‍ය ප්‍රකාශ කොට සිවුර නියමිත භික්ෂුවට භාර දෙනවා. මෙය විනයානුකූලව කඨින චීවර පූජාවක් සිදු කරන ක්‍රමවේදයයි.

කඨින පින්කමෙන් ගිහි පැවිදි දෙපක්ෂයට ලැබෙන ආනිසංස මොනවාද?

“අත්ථරිත කඨිනානං වො භික්ඛවේ පඤ්ච කප්පිස්සන්ති, අනාමන්තචාරො අසමාධානචාරො ගණ භොජනං යාව දත්තචීවරං යොච තත්ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සන්ති.”

මහණෙනි, කඨිනයක් පිළිගත්තා වූ කඨිනයක් ඇතිරුවා වූ භික්ෂූන් වහන්සේට ආනිසංස පහක් ලැබෙයි.

1. අනාමන්තචාරො භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ වැඩ සිටින ආවාසයෙන් පිටතට වඩින විට කිසිවෙකුට හෝ කියා වැඩිය යුතුය. කඨින චීවරයක් පිළිගත් භික්ෂුන් වහන්සේ නමකට කිසිවෙකුට නොදන්වා ආවාසයෙන් පිටවීමෙන් කිසිදු ඇවතක් සිදු නොවේ.

2. අසමාධානචාරො සෑම දිනකම අරුණු නැ‍ඟෙන විට භික්ෂුව සමීපයෙහි තුන් සිවුර තිබිය යුතුය. එසේ නොවුණහොත් ඇවතක් සිදුවේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්ෂුන් වහන්සේ නමකට තුන් සිවුර සමීපයෙහි නොතිබුණාට ඇවතක් සිදු නොවේ.

3. ගණභොජනං සැදැහැවත් දායකයින් භික්‍ෂුන් වහන්සේලාට සිය නිවෙසේ දානයකට පොදුවේ ආරාධනා කළ යුතුය. පෞද්ගලිකව ආරාධනයක් පිළිගතහොත් ඇවතක් සිදුවේ. එහෙත්, කඨින චීවරයක් පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට දායකයාට අනුග්‍රහ පිණිස පෞද්ගලිකව හෝ නිවෙසකට වැඩම කොට දානය වැළඳීමෙන් ඇවතක් සිදු නොවේ.

4. යාවදත්ත චීවරං උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නේ නම් ඊට අමතරව සිවුරු පරිහරණය කළ නොහැකියි. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්ෂුන් වහන්සේ නමකට අමතර සිවුරක් පරිහරණය කළ හැකියි.

5. යොච තත්ථ චීවරුප්පාදොසො නෙසං භවිස්සති. අන්‍ය අවස්ථාවන්හිදී සඟ සතුකොට පූජා කළ පූජාවන් තනිව පරිහරණය කිරීම වරදක්. එහෙත්, කඨින චීවරයක් පිළිගත් භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන ලද සියලුම දේවල අයිතිය හිමිවන අතර සියල්ල පෞද්ගලිකව වුවද පරිහරණය කළ හැකියි. මේ කඨින චීවරයක් ලැබූ භික්ෂුවට ලැබෙන ආනිසංසයි.

පින්වතුන්ට ද ආනිසංස විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. උපනූපන් සියලු භවයන්හිදී දිව්‍ය සම්පත් මනුෂ්‍ය සම්පත් පරිවාර සම්පත් ආහාරපාන, ඉඳුම්, හිටුම් වස්ත්‍රාභරණ, මෙන්ම පුද සත්කාර ආදිය හිමි වෙනවා. සියලු දෙසින් පැමිණෙන සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. සියලු පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩුයි. රජ සම්පත් රුසිරු සම්පත් හිමි වෙනවා. චක්‍රවර්තී රාජ්‍යසම්පත්තිය මෙන්ම සක්‍රසම්පත්තියද ලැබීමට හැකි වෙනවා. ආඪ්‍ය වූ ජීවිතම ලැබෙනවා. සියලු ක්ලේශ බන්ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමටත් හේතු වාසනාව හිමි වෙනවා.

“කඨින දානං දත්වාන සංඝයේ ගුණවරුත්තමෙ ඉතෝතිං සේ මහා කප්පේ නාභි ජානාමි දුග්ගතිං…” මෙයින් කියැවෙන්නේ, ගුණයෙන් උතුම් වූ සංඝරත්නය උදෙසා කඨින චීවරයක් පූජා ිරීමෙන් මහා කල්ප 30ක් දුගතියක නූපන්නෙමි යන්නයි.

කඨින චීවරයක පූජාවේ විශේෂත්වය කුමක්ද?

සාමාන්‍ය සිවුරක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස්වලට වඩා කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් අතිවිශාලය. ඒ බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.

“ ගිරි රාජ සමං රහසිංසංඝෙ දේති තිචීවරං ඒකස්ස කඨින දානස්ස කලං නාග්ඝතිසෝලසිං…”

මහාමේරු පර්වතය දක්වා උසට තුන් සිවුරු (තනිපට සිවුර දෙපට සිවුර සහ අඳන සිවුර) පූජා කළත් කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබෙයි. කඨින චීවරය පූජා කිරීමෙන් ලැබෙන අනුසස් පිළිබඳ විමසීමේදී පූජාව සිදු කරන්නාගේ සිතිවිලි සහ පූජාව ලබන්නාගේ ගුණවත්කම ඉතා වැදගත්. පූජාව සිදු කරන්නා ඉතාම සැදැහැවත් හා කර්මය හා කර්මපල විශ්වාස කරන්නෙකු විය යුතුයි. ඒ වගේම ශික්ෂා පද පහකින් නිදහස ලැබීමත් ඉතාමත් වැදගත් ප්‍රතිඵලයක්.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT