Home » සමාජ මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රකාශ කළ ව්‍යාපාරිකයාට කොන්දේසි සහිත වාරණයක්
හිටපු මන්ත්‍රී කාදර් ගැන

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රකාශ කළ ව්‍යාපාරිකයාට කොන්දේසි සහිත වාරණයක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන ආකාරයේ සුළු අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම වළක්වමින් මන්නාරම් ප්‍රදේශයේ පදිංචි එන්.එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) නිකුත් කළේය.

මෙලෙස වාරණ නියෝගයක් නිකුත් කරමින් ලබන 12 වැනි දින අධිකරණය හමුවේ සිද්ධියට අදාළව කරුණු දක්වන ලෙසට ද පාරිස් නමැති ව්‍යාපාරිකයාට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා නොතීසි ද නිකුත් කළේය.

කාදර් මස්තාන් මහතා 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය මන්නාරම මුරුකන් පදිංචි එන්.එම්. ෆාරීස් නමැති ව්‍යාපාරිකයෙකුට නිකුත් කළේය.

කාදර් මස්තාන් මහතා අධිකරණයේදී සඳහන් කරනු ලැබුවේ, අසත්‍ය හා දේශ සහගත ප්‍රකාශ වට්ස් ඇප්, ෆෙස් බුක් ඇතුළු සමාජ මාධ්‍යයෙහි පළ කිරීම තුළින් මේ වන විට මහජනතාව නොමඟ යවා ඇති බවත් එය තමාගේ දේශපාලන කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බවය.

පැමිණිලිකරුට එරෙහිව අදාළ අසත්‍ය ප්‍රකාශ හා හඬපට ‘මුසාලි සිවිල් ෆෝරම්’ හා ‘මුසාලි සිවිල් මණ්ඩාරම්’ වට්ස් ඇප් සමූහය වෙත මුදා හැර ඇති බවත්, 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය හා දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව නීති විරෝධී මෙම ප්‍රකාශය තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් විත්තිකරුට එරෙහිව වාරණයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රම්සී බාචා ඇසෝසියට්හි උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයට තරග වදින පෙත්සම්කරුට මඩ ගැසීමේ අරමුණින් මෙම අසත්‍ය සහ දේශසහගත ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා උඩුගත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT