රුපියල් හැටඑක් ලක්ෂ පනස්දහසක් වටිනා කාරයක් කුලී පදනම මත රැගෙන ගොස් කූට ලේඛන සකස් කර පුද්ගලයකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධව ඇප මත මුදා හැර සිටි සැකකාරියක්, අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (28) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.
පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයේෂා එරංගනී නමැත්තියක් එසේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි. කුලී පදනම මත වාහන ලබා දෙන ආයතනයකින් කුලී පදනම මත රුපියල් හැටඑක් ලක්ෂ පනස්දහසක් වටිනා කාරයක් රැගෙන ගොස් නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ පදිංචි ඇම්.ඒ. ධර්මසිරි නමැත්තෙකුට කූට ලේඛන සකස් කර විකිණීම කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ පවත්වා කපිල අත්තනගොඩ, ඉරෝෂන් ලියනගේ හා අයේෂා එරංගනී යන සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් තිදෙනා කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.
මෙය පෙරේදා (28) නැවත කැඳවූ අවස්ථාවේ කපිල අත්තනගොඩ නමැති සැකකරු පමණක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. මෙහිදී ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පො.සැ. එස්.ඒ.එස්.එල්. ගුණසේකර (66319) මහතා කරුණු දක්වමින් ඉරෝෂන් ලියනගේ නමැත්තා සමාන වරදක් සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, අයේෂා එරංගනී නමැත්තිය අධිකරණය මඟහැර සිටින බවත් කියා සිටියේය. අධිකරණය මඟහැර සිටින සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
මෙහිදී පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එසේ අධිකරණය මඟහැර සිටින සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය. නැවත කැඳවීම 2025 වසරේ අප්‍රේල් 21 වැනිදාට කල් තැබිණි.