Thursday, May 15, 2025
Home » නියෝජ්‍ය පොලිස්පතිගේ කණ්ඩායම සහරාන් ගැන තොරතුරු සැඟවූයේ ඇයි?

නියෝජ්‍ය පොලිස්පතිගේ කණ්ඩායම සහරාන් ගැන තොරතුරු සැඟවූයේ ඇයි?

ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව-05

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති රවී සෙනවිරත්නට එරෙහිව පාස්කු ඉරිදා දින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී අනාවරණය වූ කාරණා ගැන පළවන ලිපි පෙළේ පළමු කොටස් හතර මීට පෙර පළවිය. මේ එහි පස්වැනි කොටසයි.

මාවනැල්ල බුදුපිළිම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ආකාරයට විමර්ශන නොකළ බවට වන චෝදනාව ගෙන එනු ලැබුවේ එම විමර්ශන සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද එසේත් නැතිනම් කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති යටතේ ද යන්න ගැන නිසි පැහැදිලිතාවක් නොමැතිවීම මත බව පෙනුණි.

යම් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර ගැනීමට නම් (එවකට ලක්ෂ 50ට වැඩි සාපරාධී විශ්වාසය කඩ කිරීම් වැනි කරුණු හැර) පොලිස්පතිගේ අවසරය තිබිය යුතුය. මාවනැල්ලට අදාළව විමර්ශනවලට සහයෝගය දක්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචික නියෝගයක් ලබා දුන්නේය. තත්ත්වයේ බරපතළකම තේරුම් ගත් එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තම විමර්ශන කණ්ඩායම යවා ඔහු ද එහි ගියේය. පාස්කු කොමිසමේ සාක්කි දුන් කෑගල්ල සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අධ්‍යක්ෂවරයා එම ස්ථානයට යන සිදුවීම් ඉතාම අඩු බවයි. ඔහුට අනුව නාලන්ද එල්ලාවල ඝාතනය කිරීමට පසු විමර්ශනයක් බාර ගන්නා ස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ගියේ මෙම සිදුවීමේදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම විමර්ශනයේදී පැවරුණු රාජකාරිය මාවනැල්ලෙන් සහ කෑගල්ලෙන් කරන පරීක්ෂණවලට සහභාගි වීම පමණි. ඒ බව පොලිස් පරීක්ෂක මාරසිංහ, පාස්කු කොමිසමේදී දුන් සාක්කියෙන් ද පැහැදිලිවේ. ඒ අනුව මෙම විමර්ශනය සම්පූර්ණයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීම සුදුසු බවට පොලිස්පතිවරයාට වාර්තා කරන ලෙස ඉල්ලමින් කෑගල්ල 2 බාර සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතා 2019 ජනවාරි මස 03 වැනිදා ASP/II/57/2019 අංකයෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට ලිපියක් යොමු කළේය. එම ලිපියේ අවසාන ඡේදය මෙසේය.

‘04. ඉහත සඳහන් කරුණු පිළිබඳ විමර්ශනය කිරීමට තීක්ෂණ භාවය, දැනුම පුහුණුව හා සම්පත් හා නිලධාරීන් අනුයුක්තව සිටිනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යංශය වැනි විශේෂ අංශ මඟින් බැවින් 2001 වර්ෂයේ මාවනැල්ල ප්‍රදේශයේ ඇතිවූ මහජන දේපළ විනාශ කරමින් ඇතිවූ සිදුවීම් නැවතත් ඇති නොවීම සඳහා 2018 දෙසැම්බර් 22 දින රාත්‍රී හා 2018 දෙසැම්බර් 26 දින අලුයම් කාලයේදී ඇතිවූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට කටයුතු සැලැස්වීම ඉතාමත්ම සුදුසු බවට දිස්ත්‍රික් භාර නිලධාරියා ලෙස නිර්දේශ කර, මෙම වාර්තාව පොලිස්පතිතුමා වෙත යැවීම සඳහා නිර්දේශ කර ඔබතුමා වෙත ඉදිරිපත් කරමි.’

එයින් පැහැදිලිව පෙනෙන්නේ ඒ වනවිටත් විමර්ශන කරගෙන ගියේ කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ බවයි. එසේම ජනවාරි 30 වැනිදා තෙක්ම අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ ද කෑගල්ල සහ මාවනැල්ල නිලධාරීන් විසිනි. ඒ අනුව බුදුපිළිමවලට හානි කිරීමට අදාළ විමර්ශන මුල් අවස්ථාවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බවට වන චෝදනා අසත්‍ය බව පැහැදිලිවේ. දෙසැම්බර් 26 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලට සහයෝගය දැක්වීම පිණිස පැමිණිය ද මෙම විමර්ශනය දිගටම කරගෙන ගියේ කෑගල්ල සහ මාවනැල්ල නිලධාරීන් විසින් බව දෙසැම්බර් 30 වැනිදා නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහකාරපොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතාගෙන් විමර්ශන ගැන තොරතුරු ලබාගැනීමෙන්ම පෙනේ. එදින නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ විමසීමකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කරන ලද ASP/II/5112/2018 දරණ වාර්තාවේ විමර්ශනවල ප්‍රගතිය සඳහන් කර තිබේ. එසේම පෙර කී පරිදි ප්‍රගති සමාලෝචන රැස්වීම් පවා පැවැත්වූයේ පාලිත සිරිවර්ධන මහතා ඉදිරියේ දී බව ගාමිණී තෙන්නකෝන් සහ කමල් පෙරේරා යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් අසාද් සාලිගේ සිදුවීම ගැන කළ කරුණු දැක්වීම්වලින්ම පැහැදිලිවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන බාර නොගෙන සහයෝගය දැක්වීමට පමණක් යෙදවූ අවස්ථා ඊට පෙර ද තිබිණි. රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබුවේ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා යටතේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබුණේ සහයෝගය දැක්වීම පමණි.

එසේ තිබියදී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පිරිස් විසින් මෙම සිද්ධියට අදාළව ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කළේ ඇයි ද යන්න ගැටලුවකි. මෙහි බරපතළම කාරණය වූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන කළ කණ්ඩායම පළමු දින කිහිපය තුළදීම සහරාන් හෂීම් ගැන අනාවරණය කර ගැනීමයි.

බුදුපිළිම සිද්ධිය පිටුපස සිටින්නේ සහරාන් හෂීම් බවට ඔවුන් අනාවරණය කර ගත්තද ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නැත. අඩු තරමේ පොලිස්පතිට දැනුම්දීමට කටයුතු කර හෝ තිබුණේ නැත. ඒ වනවිටත් සහරාන් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශන ආරම්භ කර තිබුණ ද බුදුපිළිම සිද්ධියට සහරාන් සම්බන්ධ බවට කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති යටතේ විමර්ශනය කර නිලධාරීන්ට දැනුම් දුන්නේ නැත.

ඔවුන් සහරාන් ගැන සොයා බැලීමට කාන්තන්කුඩි ප්‍රදේශයට 2019 ජනවාරි 05 වැනිදා ගිය අතර සරහාන් අදාළ ප්‍රදේශයේ නොමැති බවට කාත්තන්කුඩි ග්‍රාම නිලධාරිනී ෆස්මිලා මහත්මියගෙන් ලිපියක් ලබාගෙන එය ගෙනැවිත් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ තොරතුරු පොතේ ඇලවීය. ඒ සම්බන්ධයෙන් පාලිත සිරිවර්ධන මහතා හෝ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා හෝ අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේ නැත.

මතුසම්බන්ධයි…

තරිඳු ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT