ලංකාවේ පළමු මැතිවරණය 1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්විණි. මේ මැතිවරණයේදී අවිස්සාවේල්ල අසුන ලංකා සමසමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධන ජය ගත්තේය. එහෙත් 1947 පැවැති මහා වැඩවර්ජනයේදී සක්‍රිය දායකවීම් හේතු කරගෙන පිලිප් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ කීපදෙනකුටම සිරදඬුවම් නියම වූහ. පිලිප් ගුණවර්ධනගේ ප්‍රජා අයිතිය ද වසර 07කට අහිමි විය. ඒ අනුව අවිස්සාවේල්ල අසුන වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීම සිදුවිය. එහිදී පිලිප් ගුණවර්ධනගේ බිරිඳ කුසුමා ගුණවර්ධන මහත්මිය නාමයෝජනා භාර දුන්නාය. වෙනත් කිසිදු අපේක්ෂකයකුගේ නාමයෝජනා නොවුණු හෙයින් කුසුමා ගුණවර්ධන මහත්මිය අවිස්සාවේල්ල මන්ත්‍රීවරිය බවට පත් වූවාය. ලංකාවේ ප්‍රථම අතුරු මැතිවරණය ලෙස එය ඉතිහාසයට එක්විය.
එතැන් පටන් ලංකා ඉතිහාසයේ අතුරු මැතිවරණ පැවැත්වූ අවස්ථා ගණනාවක් තිබිණි. ව්‍යවස්ථාදායකයට පත්වූ මන්ත්‍රීවරයකු සිය ධුර කාලය අවසන් වීමට පෙර මිය යාම, ඡන්ද පෙත්සමකින් මන්ත්‍රීවරයකුට අසුන අහිමි වීම, විශ්වාසභංග යෝජනාවක් සම්මතවීම වැනි අවස්ථාවන්හිදී අතුරු මැතිවරණ පැවැත්වීම සිදුවිය.
1982 කුප්‍රකට ජනමත විචාරණය පැවැත්විණි. ඉන් එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. එහිදී තමනට අහිමිවූ ආසන 18ක් වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීමට කටයුතු සූදානම් කළේය. එය ලංකා ඉතිහාසයේ වැඩිම අතුරු මැතිවරණ ප්‍රමාණයක් පැවැත්වූ අවස්ථාව ලෙස සැලකේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නිසා ඉතා කෙටිකලකින් අප්‍රසාදයට පත්ව තිබූ එජාපයේ ජනප්‍රියත්වය උරගා බැලීමට මේ අවස්ථාව ඔවුනට ඉතා වැදගත් විය. ඒ අනුව මෙම අතුරු මැතිවරණ 18 කුමන ආකාරයෙන් හෝ ජය ගැනීමට අවශ්‍ය පියවර එජාපය ගත්තේය. රාජ්‍ය බලය, මැර බලය දැඩි ලෙස යෙදවීය. විශේෂයෙන්ම ඇතැම් අපේක්ෂකයන් තෝරා ගැනීමේ පදනම වී තිබුණේද මැරකම් කිරීමේ ඇති ශුරභාවය යන පදනමිනි.
මැතිවරණයට මුහුණදීම සඳහා ආණ්ඩුව හැම අතින්ම මැනවින් සූදානම් විය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැතියේ බරපතළ අර්බුදයකය. පක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබිණි. එමෙන්ම ජනාධිපතිවරණයේදී පක්ෂය අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය විය. අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් මේ ගැටුමට බලපෑවේය. මේ අනුව පක්ෂයේ නායකත්වයක් නොමැතිකම, අසංවිධානාත්මක බව කැපී පෙනිණි. මේ තත්ත්වයෙන් පක්ෂය මුදා ගැනීමට විජය කුමාරතුංග කටයුතු කරමින් සිටියේය. වේගයෙන් පරිහානියට පත්වෙමින් පැවැති ආණ්ඩුවට එරෙහිව සටනක් ලබා දීමට විජය කටයුතු කළ අතර එහිදී ඔහු මහර ආසනය වෙනුවෙන් තරග කිරීමට සූදානම් විය. අනෙක් මැතිවරණ කොට්ඨාස මෙන් නොව විජය තරග කළ නිසා මහර තීරණාත්මක විය. මහර ජය ගැනීමට ආණ්ඩුව සෑම උපක්‍රමයක්ම යෙදුවේය. අනෙක් ආසන 17ම පරාජය වුවත් එජාපය මහර අසුන කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු බව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශ කර තිබිණි. මෙම අතුරු මැතිවරණ 18 අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළම අයුරින් සිදුවූ, එමෙන්ම ඉහළම අවධානය දිනාගත් අතුරු මැතිවරණය පැවැතුණේ මහර අසුනේය.
විජය මේ වනවිට ලාංකිකයන් අතර ජනප්‍රිය නළුවා බවට පත්ව සිටියේය. ඒ අතරම ඔහු රජය පෙරළීමේ නැක්සලයිට් කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටියේය. ඒ කුමන පසුබිමක වුව විජය කුමාරතුංග මැතිවරණය ජයගනු ඇත යන්න බහුතර ජනතාවගේ අපේක්ෂාව විය.
මැතිවරණය පැවැතියේ දැඩි භීෂණකාරී තත්ත්වයක් යටතේය. එක් අවස්ථාවක විජය සිය ආධාරකරුවන් සමඟ වීරගුල ප්‍රදේශයේ ගෙයින් ගෙට යමින් සිටියහ. ඒ අවස්ථාවේ විජය ඉලක්ක කරගෙන මැර ප්‍රහාරයක් එල්ල විය. එහිදී සිදුවූ වෙඩි තැබීමේදී විජයගේ ජීවිතය අනූනවයෙන් බේරිණි. එහෙත් ඔහු අසලම සිටි ආධාරකරුවකු වෙඩි පහරින් මිය ගියේය. මැතිවරණ දිනද ප්‍රඩණ්ඩ ක්‍රියා ඉහළ මට්ටමක පැවැතිණි. විජයගේ ඡන්ද පොළ නියෝජිතයන් රැසක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
මෙලෙස පැවැති මැතිවරණයෙන් එජාප අපේක්ෂකයා වූ කමල් ජයකොඩි ඡන්ද 24,944ක් ලබා ගත්තේය. විජය කුමාරතුංග ඡන්ද 24,899ක් ගත් අතර ඒ අනුව වැඩි ඡන්ද 45කින් කමල් ජයකොඩි මැතිවරණය ජයග්‍රහණය කළේය. මේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරුණේ කිහිප වතාවක් ඡන්ද ගණන් ගැනීමෙන් අනතුරුවය. එකල ඇත්ත පුවත්පත එම සිදුවීම වාර්තා කර තිබුණේ විජය පරදින තෙක් ඡන්දය ගණන් කරන ලෙසට ජයවර්ධන ජනාධිපතිවරයා නියම කළ බවයි. මෙහි තවත් විශේෂ කාරණයක් වූයේ ඡන්ද 45කින් විජය පරාජය වුව ද මහර අසුනේ නාතුඩුව ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 49ක් දමා තිබීමය. එය මැතිවරණයේ පැවැති දුෂිතභාවය මැනවින් පිළිබිඹු කරන්නකි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විජය කුමාරතුංග විසින් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. එහිදී ජනාධිපතිවරයා මැතිවරණ රැස්වීම්වලදී ද්වේෂසහගතව, අසත්‍ය චෝදනා එල්ලකරන ලදැයි කියැවිණි. මෙම ඡන්ද පෙත්සම විභාග කිරීම සඳහා ජනාධිපතිවරයා අධිකරණයට කැඳවීමට විධිවිධාන නැති විය. ඒ අනුව මහර මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව යොමු කෙරුණු ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභ විය.
මහර අසුනත් සමඟ අතුරු මැතිවරණ පැවැත්වූ කොට්ඨාස 18න් 14ක බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. ඉතිරි මැතිවරණ කොට්ඨාසවලින් 4න් 3ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, අනෙක මහජන එක්සත් පෙරමුණ ද ජය ගත්තේය. මේ ජයග්‍රහණවල රහස වූයේ මැර බලය යෙදීමය.