Home » පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන ප්‍රධාන දීමනා සහ වරප්‍රසාද 7ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන ප්‍රධාන දීමනා සහ වරප්‍රසාද 7ක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

”පාර්ලිමේන්තුවේ 225 ම එක යි. අපේ ඡන්දයෙන් ගිහින් සුර සැප විඳිනවා.”

”ඕකට ගිය හැටි යි, ගියාට පස්සේ මන්දිර ගහපු හැටි යි අපි දන්නවා.”

”මන්ත්‍රීවරු වැඩි හරියක් කරන්නේ වරප්‍රසාදවලට මුවා වෙලා කාටහරි මඩක් ගහන එක.”

ඉහත දැක්වෙන්නේ, රටේ නීති සම්පාදනයේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව, එහි මන්ත්‍රීවරුන් සහ ඔවුන්ට හිමි වන වරප්‍රසාද පිළිබඳව රටේ ක්‍රම වෙනසක් වෙනුවෙන් හඬ නගන ජනතාව පසුගිය කාලයේදී අතරින් අසන්නට ලැබුණු අදහස් කිහිපයකි.

ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට හිමි වන සුවිශේෂී වරප්‍රසාද තිබේ. එම වරප්‍රසාද භුක්ති විඳින මන්ත්‍රීවරුන් ජනතාවට සහ රටට සාධාරණය ඉටු කර තිබේ ද? යන සංවාදය යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, ඊළඟ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදී ය.

මැතිවරණ වියදම් සීමා කිරීමට නීති පනවා තිබුණ ද අපේක්ෂකයන් බොහෝදෙනෙකු සිය ප්‍රචාරණ කටයුතු සඳහා විශාල ධනස්කන්ධයක් වැය කරන බව නිරීක්ෂණය වෙයි.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ විට මන්ත්‍රීවරයෙකුට ලැබෙන, සමාජයේ වඩාත් කතාබහට ලක්වන වරප්‍රසාදය ‘වාහන බලපත්‍රය’ යි.

නොවැම්බර් 14 දින ඔබ භාවිත කරන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට දැනට පවත්නා ක්‍රමවේදයට අනුව ලැබෙන දීමනා සහ වරප්‍රසාද පහත දැක්වේ.

ඊට අමතරව මේ දීමනා සහ වරප්‍රසාද ලැබෙන බව ඔබ දන්නවා ද?

01. ගිනිඅවි සහ අවි පුහුණුව

ගීය පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු සියදෙනෙකු පමණ ගිනිඅවි ලබාගෙන තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොමිලේ ගිනි අවියක් සහ ගිනිඅවි පුහුණුව ලැබේ. පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ නිර්දේශය මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ ගිනිඅවිය නිකුත් කරනු ලබයි. නමුත්, රජයෙන් ලබා දෙන එම ගිනිඅවිය ළඟ තබා ගත හැකි වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටින කාලය තුළ පමණි.

පැවති පාර්ලිමේන්තුව සැප්තැම්බර් 24 වැනි දා විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළේ ය. ඒ අනුව, ගිනිඅවි නැවත භාර දෙන ලෙස පාර්ලිමේන්තුව විසින් ගිනිඅවි ලබා ගත් සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම් දීමක් කරනු ලැබ තිබේ.

2020 අගෝස්තු 20 සිට 2024 සැප්තැම්බර් 24 දක්වා පැවති නව වන පාර්ලිමේන්තුවේ පස් වන සභාවාරය මන්ත්‍රීවරුන් 241 දෙනෙක් නියෝජනය කළහ. එයින් මන්ත්‍රීවරුන් සියදෙනෙකු පමණ ගිනිඅවි ලබාගෙන තිබිණි.

ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පොලිස් ආරක්ෂාව ලැබෙන අතර නි‍ෙවසේ ආරක්ෂාව සඳහා ආලෝකය වැඩි විදුලි පහන් හතරක් හිමි වේ.

02. මන්ත්‍රී වැටුප සහ දීමනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285.00කි. ඊට අමතරව, පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක දීමනාවක් හිමි වේ. මීට අමතරව, පාර්ලිමේන්තුව රැස් නොවන දිනක කාරක සභා රැස්වීමක් පවත්වන්නේ නම් ඒ සඳහා සහභාගි වන මන්ත්‍රීවරු ද දිනකට රුපියල් 2500ක දීමනාවකට හිමිකම් කියති.

03. විශ්‍රාම වැටුප අහෝසි ද?

මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ඔහු හෝ ඇය විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා හිමිකම ලැබේ.

ඒ අනුව, හිටපු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 263 දෙනෙකු වෙනුවෙන් අද වන විට විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ. නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම නව රජයේ පොරොන්දුවකි.

04. මන්ත්‍රී නිවාසයේ මාසික කුලිය රුපියල් 2000යි.

මන්ත්‍රීවරයෙකුට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනු ලැබේ.

කොළඹින් බැහැරව ජීවත් වෙන මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයෙන් නිවසක් ඉල්ලුම් කළ හැකි ය. ඒ සඳහා ගෙවිය යුතු මාසික කුලී මුදල රුපියල් 2000ක් පමණි.

නමුත්, එම නි‍ෙවසේ විදුලි බිල සහ ජල බිල අදාළ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය ගෙවිය යුතු ය.

අද වන විට සිය ප්‍රචාරක කටයුතු සඳහා බොහෝ අපේක්ෂකයෝ සමාජ මාධ්‍ය භාවිත කරති. එමෙන් ම ලිපි භාවිතය දැන් අවම වී ඇත. නමුත් පසුගිය කාලයේදී ලිපි තැපැල් කිරීම සඳහා එක් මන්ත්‍රීවරයෙකුට වසරකට රුපියල් ලක්ෂ පහක මුද්දර සහනයක් ලබා දෙන ලදි. නමුත් එය 2024 ඔක්තෝබර් 08 වන දා සිට අත්හිටුවා ඇත.

05. මිලියනයක සෞඛ්‍ය රක්ෂණයක් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය

ඡායාරූප ශීර්ෂ වැකිය,2018 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදුවූ කලහකාරී සිදුවීමෙන් තුවාල ලැබූ විජිත හේරත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දෙන ලදි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම ආසන්නයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ. එයින් ප්‍රතිකාර ගැනීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබේ. ඊට අමතරව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් මිලියනයක වටිනාකමක් සහිත රක්ෂණ ආවරණයක් හිමි වේ.

ජීවිත හානියක් වුවහොත් ඒ සඳහා රජයෙන් ලැබෙන වන්දි මුදලේ වටිනාකම රුපියල් කෝටියකි.

සාමාන්‍ය අසනීප තත්ත්වයන්වලදී මෙන් ම පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී අවස්ථා නිසා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගෙන තිබේ.

2018 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය (මිරිස් කුඩු ප්‍රහාරය) අතරතුර මන්ත්‍රීවරුන් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන්ට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දෙන ලදි.

06. වාහන බලපත්‍රය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද අතර වාහන බලපත්‍රය සුවිශේෂී වේ. බොහෝ මන්ත්‍රීවරුන් වෙනත් පාර්ශ්වයන්ට සිය වාහන බලපත්‍රය අලෙවි කිරීම ගැන අවස්ථා රැසකදී සමාජයේ දැඩි කතාබහක් ඇති විය.

රටේ පැවති තත්ත්වය හමුවේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එම වරප්‍රසාදය ලැබුණේ නැත. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එම වරප්‍රසාදය අහෝසි කරන බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී තිබේ. ඒ අනුව, නොවැම්බර් 21 රැස්වීමට නියමිත අභිනව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලැබීම අවිනිශ්චිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයකට හිමිකම් කියයි. නමුත්, එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වූ අවස්ථා ද තිබේ. ඩයනා ගමගේ සහ විමල් විරවංශ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ඉදිරිපත් කර තිබූ ලිපි ලේඛනවල ගැටලු ගැන අධිකරණයේ නඩු විභාග සිදු විය.

එමෙන් ම, ඇතැම් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අවභාවිත කරමින්, පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට සහ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයට හානි වන ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ක්‍රියා කළ අවස්ථා ද තිබේ.

හිටපු මන්ත්‍රී අලි සබ්රි රහීම් 2023 මැයි 23 දින සිය රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවභාවිත කරමින්, කටුනායක ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් රත්රන් සහ ජංගම දුරකතන රැගෙන ඒමේ සිදුවීම ඊට නිදසුනකි.

07. නඩු පැවරීමට නොහැකි බලය

1997 අංක 27 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව මන්ත්‍රීවරුන්ට හිමි වන, මුදලින් වටිනාකම තක්සේරු කළ නොහැකි වරප්‍රසාදයක් තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පවසන දෙයක් පදනම් කරගෙන අදාළ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැතිවීම ය. එමෙන් ම එම ප්‍රකාශ පදනම් කරගෙන නඩු පැවරීමේ හැකියාව ද කිසිවෙකුට නැත.

එමෙන් ම, සිවිල් නඩු කටයුතුවලදී සිරභාරයට ගැනීමෙන් නිදහස් වීමේ වරප්‍රසාදයක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වේ. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තුවේ රැස්වීමකට හෝ සභාවාරයකට පැමිණෙන විට හෝ එහි සිට නැවත යන අතරතුර සිවිල් නඩු කටයුතුවලට විෂය වන යම් කරුණක් සම්බන්ධයෙන් සිරභාරයට ගැනීම, රඳවා ගැනීමට නොහැකි වන්නේ ය.

අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වන දින රැස්වීමට නියමිතව තිබේ. ඒ සඳහා තෝරා ගනු ලබන නවක මන්ත්‍රීවරුන්ට දැනට පවතින දීමනා හා වරප්‍රසාද හිමි වන්නේ ද නැතහොත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය පොරොන්දු වී පරිදි මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වරප්‍රසාද මෙන් ම දූෂණය හා නාස්තිය අඩු කර මහජන ධනය ඉතිරි කරන්නේ ද යන්න ගැන ජනතාව විමසිල්ලෙන් සිටිති

28 ඔක්තෝබර් 2024 BBC සිංහල සේවය ඇසුරෙනි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT