Home » ආසියානු නෙට්බෝල් අනුශූරියෝ ශ්‍රී ලංකාවට එති

ආසියානු නෙට්බෝල් අනුශූරියෝ ශ්‍රී ලංකාවට එති

නෙට්බෝල් පරිපාලනය බිඳ වැටිලා කඹ ඇදිලි විතරයි: මාස 6ක් මට පඩි දුන්නෙත් නෑ - පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ මීළඟ අදියර 2026දී හොංකොංහිදී පැවැත්වීමට ආසියානු නෙට්බෝල් සංගමය තීරණය කරයි. එමෙන්ම ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය එළැඹෙන වසරේ ජූනි මාසයේදී දකුණු කොරියාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිමාව දුටු ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ ඊයේ ශ්‍රී ලංකාවට පැමිණී අතර, පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි ‘දිනමිණ’ට පැවසුවේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශය පිළිබඳ තමන් සතුටට පත්වන බවය. ආසියානු නෙට්බෝල් ශූරතාවලිය නිමා වෙද්දී ජාතික නෙට්බෝල් පුහුණුකාරිණී දීපි නාලිකා ප්‍රසාදි මහත්මියගේ තනතුර ද අවසන් වනු ඇත.

පුහු­ණු­කරු දීපි නාලිකා ප්‍රසාදි හා ආසි­යානු නෙට්බෝල් සංග­මයේ සභා­පති ලක්ෂ්මි 
වික්ටෝ­රියා මහ­ත්මිය.

පුහු­ණු­කරු දීපි නාලිකා ප්‍රසාදි හා ආසි­යානු නෙට්බෝල්
සංග­මයේ සභා­පති ලක්ෂ්මි
වික්ටෝ­රියා මහ­ත්මිය.

“ඉතාම අඩු පහසුකම් මැද ගිහින් මේ වගේ තරගාවලියක අවසන් මහා තරගයට පැමිණීම පිළිබඳ සතුටුයි. මට කළ හැකි උපරිම දේ කළා. පසුගිය මාස 6ක කාලයක් මට පුහුණුකරු වැටුප් ගෙවා නෑ. අතින් වියදම් කරගෙන මේ තරගාවලියට ක්‍රීඩිකාවන් සූදානම් කළේ. ක්‍රීඩා අමාත්‍යාංශය උපරිම දේ කළා. අමාත්‍යාංශයට නෙට්බෝල් ක්‍රීඩාව විතරක් නොවෙයි තියෙන්නේ. ඒත් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියලු දෙනා අපට උදව් කළා” පුහුණුකාරිණිය පැවසුවාය.

“නෙට්බෝල් පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටිලා. කඹ ඇදිලි විතරයි. එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගන්නවා. බලයට එන්න ඇතැම් අය නඩු දාලා. හිටපු නිලධාරීන් අවශ්‍ය පසුබිම සකස් කරමින් ආවා. නමුත් සම්මේලන ඡන්දය තියන්න බැරි වුණා. ඒක ක්‍රීඩිකාවන්ට විශාල පාඩුවක්. අවසන් මහා තරගයට පැමිණි සිංගප්පූරුව ජාත්‍යන්තර අත්දැකීම් ලබා තරගාවලියට ආවේ. අපේ ක්‍රීඩිකාවන්ට එහෙම තත්ත්වයක් තිබුණේ නෑ” දීපි නාලිකා ප්‍රසාදි පැවසුවාය.

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර, පැවති අවසන් මහා තරගයේදී ලකුණු 67 – 64කින් ශ්‍රී ලංකාව පරදා සිංගප්පූරු ක්‍රීඩිකාවන් සිවුවැනි වරටත් ආසියානු කිරුළ තමන් සතු කර ගත්හ. මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හොංකොං පරාජය කළ මැලේසියාවට හිමි විය. ශ්‍රී ලංකා නෙට්බෝල් පිල වසර 1989 සිට 6 වතාවක් ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් අතර, පස් වතාවක් අනුශූරතාව දිනා ගැනීමට සමත්විය.

ගෝල් ෂූටර් තිශාලා අල්ගම, වින්ග් ඇටෑක් දුලන්ගි වන්නිතිලක, ගෝල් ඇටෑක් රෂ්මි දිව්‍යාංජලී, සෙන්ටර් ගයාංගලී අමරවංශ, වින්ග් ඩිෆෙන්ස් සුසීමා බණ්ඩාර, ගෝල් ඩිෆෙන්ස් මල්මි හෙට්ටිආරච්චි හා ගෝල් කීපර් ගයානි දිසානායක මුල් කණ්ඩායම ලෙස අවසන් තරගයේදී පිටියට පිවිසියහ. මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා පිලේ සෙසු ක්‍රීඩිකාවන් ලෙස හසිතා මෙන්ඩිස්, ශානිකා පෙරේරා, ගයාත්‍රි කෞෂල්‍යා හා සචිනි රොද්‍රිගෝ ඇතුළත්ව සිටියහ. පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි, කළමනාකරු පද්මිණී හොරණගේ, කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ලාල් ඒකනායක හා සම්බාහක ලෙස මනෝජ් දර්ශන එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT