බස් රථයේ හෝ දුම්රියේ සෙනග පිරී ඇති විටක යන්තම් එහි එල්ලී ගමන බිමන නිමා කර ගත් අයෙක් පවසන්නේ “පොල්ලේ එල්ලී ආවා” කියාය. මේ ආකාරයට දැන් සමහරුන් එල්ලී ඇත්තේ පොල් පොල්ලේය. එල්ලීම සඳහා කිසිවක් නැත්තේ හෙයින් හිඟය හේතුවෙන් මිල වැඩි වූ පොල් ගෙඩියේ එල්ලී විරෝධතා මැවීමට යෑම වනාහි සමස්ත ප්‍රශ්නයක් කොනකින් අල්ලා ගැනීමය. පොල් සඳහා ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. නිෂ්පාදන පාර්ශ්වයෙන් එය ඇත්තේ දිනෙන් දින අඩුවන තැනකය. ඔය ආකාරයේ සූත්‍රයක් පවතින ඕනෑම දෙයක් හිඟයකට මුහුණ දෙන්නේය. අවසානයේ පොල් මිල ඇසු කල එලොව පොල් පෙනෙන්නේ මේ නිසාය.
පොල් ප්‍රශ්නයට පරාලයක් රැගෙන තඩි බෑවා කියා මේ ප්‍රශ්නය නිමා වන්නේ නැත. පොල් මිල ගණන් ෆේස්බුක් එකේ උදේ හවා දැම්මා කියා ද මිල අඩු වන්නේ නැත. මිල ගණන් අඩු කිරීමේ උපායක් ලෙස පොල් ලොරි තදාසන්න නගර සීමාවේ විකිණීම ගර්හාවට ලක් කළේ වුවද ප්‍රශ්නය එතැනමය. පොල් ප්‍රශ්නය නිමා කළ හැක්කේ ඒ පිළිබඳව වූ ගණන් හිලව් සාකච්ඡා කර, උපාය මාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළහොත් පමණය. එම ප්‍රවේශය සකසා ගැනීම සඳහා වූ පෙරවදනේ මුල් කොටස ලෙස අද මේ තීරුව ක්‍රියා කරන්නේය.
අවශ්‍යතාව සඳහා සරිලන නිෂ්පාදනය නොමැති කල මතු වන්නේ හිඟයය. එම හිඟයේ ප්‍රමාණය සඳහා පිළියම් නොදෙන තාක් මිල ඉහළ යෑම සිදු වන්නේය. පොල් යනු මල් පැළ සේ, අතු හිටුවා තුන් මාසයෙන් නෙළා ගත හැකි යමක් නොවේ. ඒ සඳහා අවම කාලය වසර පහක් ගත වන්නේය. හිඟය ගණනය කළ ද හෙට සිට ලාභෙට පොල් දිය නොහැක්කේ, වගා කර පල දැරීම සඳහා ගතවෙන මෙම කාලය හේතුවෙනි. ඒ නිසා පොල්ලේ එල්ලීමට පෙර පොල් ගැන ගණන් හිලව් අප දැන ගත යුත්තේය.
ගෙදර කෑම යන ලේබලය සඳහා වසරකට පොල් ගෙඩි බිලියන 1.8ක් මේ රටට වුවමනාය. ආප්ප කඩේ සිට පොල් කේක් සෑදීම ආදිය සඳහා අවශ්‍ය පොල් ප්‍රමාණය මේ ඉලක්කමේ සටහන්ව ඇත්තේය. ගාන පොල් ටිකෙන්, හොරා කන බළලා දුටු විට දමා ගසන පොල් බෑය ඇත්තේ ද මේ ගොඩේය. පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා තවත් ගෙඩි බිලියන 1.8ක් වුවමනාය. ප්‍රධාන ලෙස පොල් තෙල්, දිසිදි පොල් ආදී දේ සඳහා මෙම ප්‍රමාණය අවශ්‍ය වන්නේය. අපනයන ආශ්‍රිත නිෂ්පාදනය සඳහා ගෙඩි බිලියන 1.3ක් ද අවශ්‍යය. මේ ආකාරයට ගත් විට වසරකට අපට අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව බිලියන 4.9ක් වන්නේය.
මේ රටේ පොල් නිෂ්පාදනය බිලියන 3.1කි. අවශ්‍යතාවයේ හිඟය බිලියන 1.8කි.
ලොරි ගසා, ගමින් ගමට යමින් වෙර දරන්නේ මේ හිඟය නිසා උපන් මිල ඉහළ යෑම තුලනය කිරීමය.
ඉඩම් කට්ටි කිරීමේ සිට රිලව් ගෙඩි කඩාගෙන කෑම දක්වා වූ හේතු වපසරියක් මේ හිඟය සඳහා ඇත්තේය. එකිනෙක ගෙන ලිහා බැලූ විට ඒවා පහසුවෙන් ආ පිට හැරවිය හැකි දේ නොවේ. දැන් පොල් ත්‍රිකෝණය ද හුලස් වී ගොස් එහි හැඩය කුමක්දැයි අලුතෙන් හඳුනා ගත යුතු තත්ත්වයක ඇත්තේය. එතරමට පැවති පොල් වගාව ගැලවී ගොස් ඇත්තේය. 1988 වසරේ ශ්‍රී ලංකාවේ පොල් වගාකර තිබු හෙක්ටයාර ප්‍රමාණය, හාරලක්ෂ තිස්දාහක් විය. දැන් පොල් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 220,000කටත් වඩා අඩුවී ඇත්තේය. ඉල්ලුම වැඩි වෙන සමයේ මේ ආකාරයට වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අඩකින් පහළට ගොස් ඇත්තේ නම්, පොල් වෙනුවට කෑ හැකි යමක් සොයා ගැනීමේ විකල්පය සඳහා අපට යෑමට සිදු වන්නේය.
ඒ සඳහා නොකමැත්තේ නම් ළඟ නවා පිළිතුරක් ඇත්තේය. වගා සැලසුම් ආදී කාරණා දීර්ඝ කාලීන වශයෙන් රජය ගත යුත්තේය. වසර සියයකට ආසන්න ඉතිහාසයක් ඇති පොල් පර්යේෂණ ආයතනය මෙම ඉල්ලුම සහ සැපයුම් අතර වෙනස පියවීම සඳහා ක්‍රියාකාරී පියවරක් ගෙන ඇත්තේම නැත. ඔවුහු මේ පිළිබඳව ක්‍රියාකාරී සැලසුමක් අනුගමනය කළේ නම් වැඩේ මේ තරමට අල වන්නේ නැත. මේ සඳහා විවිධාකාර පිළිතුරු දී ගැලවී යා හැකිය. අතීතය පෙරට ගෙන, ලබාදෙන ඒ පිළිතුරු දැන් පලක් නැත. ප්‍රශ්නය සඳහා මේ අවස්ථාවේදී ආණ්ඩුවට මඟ කියාදී, ජනතාව දැනුම්වත් කළ යුත්තේ එම ආයතන මිස පාරේ යන එන ජනතාව නොවේ.
පොල් ත්‍රිකෝණ සීමාවේ පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විනාශ කර දමා ඇත්තේය. වල් ඌරා, මොනරා, දඬු ලේනා, ඉත්තෑවා හා වඳුරන් ද මේ ආකාරයෙන් පොල් වගාවට හානි කරන ලිස්ට් එකේ සිටිති. ඔතැනින් සිදු වෙන වගා හානිය වහා නතර කර ගත හැකි ක්‍රමයක් දැන් අපට අවශ්‍යය. අනික වන්නේ පොහොර නොමැති කමය.
සාමාන්‍යයෙන්, පොල් ගසක ගෙඩි 50ත් 60ත් අතර ප්‍රමාණයක් තිබේ. ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල එක් ගසක ගෙඩි 60ත් 90ත් අතර ප්‍රමාණයක් පවතින්නේය. ශ්‍රී ලංකාවේ පහළ නිෂ්පාදනය සඳහා හේතුව පොහොර නොමැති කමය. ලාභය අඩු හෙයින් සහ එහෙමට සැලකිල්ල නොමැති වගාවක් බවට පත්ව ඇති හෙයින් කිසිවෙක් පොල් සඳහා පොහොර දැමීමට දැන් යන්නේ නැත. ළඟ ළඟ පොහොර යොදා දැනට වගා කර ඇති ප්‍රමාණයෙන් මිරිකා තවත් යමක් ගත හැක්කේ නම් ළඟ ළඟ පිළියම සඳහා එය යෝග්‍ය වන්නේය.
මේ ආකාරයේ උපාය මාර්ග කිහිපයක් සඳහා වහා කටයුතු යෙදවීම ආණ්ඩුව කළ යුත්තේය. මාස හයක් තුළ දැනෙන විසඳුමක් සඳහා මේ කාරණා දෙක පමණක් සෑහෙන්නේය.
එතැනින් පටන් නොගතහොත්, පොල් පොල්ලේ එල්ලී එය දේශපාලනය දක්වා මැ ගෙන යෑමට රිසි පිරිසට, පොල් මල් ගසාගෙන සිය ගමන යා හැකි වනු ඇත්තේය.