ජනාධිපතිවරයාට ඇතැම් නීති බලාත්මක කිරීමට උපරිම විධායක බලතල තිබෙනවා
දිළිඳුකම මැනීමේ දී ආදායම සහ වියදම යන කාරණා බලනවා
ලංකාවේ ආර්ථිකය ශක්තිමත් දිශානතියකට අවතීර්ණ කිරීම සඳහා සවිබල ගැන්විය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වයයි. විවිධ ආර්ථික මට්ටම්වල පසු වන ජනතාව පවතින තැනින් ඔසවා තැබීම විනා පැලැස්තර විසඳුම්වලින් රටට හෝ ජනතාවට සෙතක් නොවන බව පැවති, ගෙවී ගිය රාජ්‍ය පාලන ක්‍රියාවලිය තුළ පසක් කර තිබේ. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීමේ ක්රමෝපායන් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා සමඟ කළ සංවාදාත්මක සටහනකි මේ.
දුප්පත්කම යනු ඇතැම් රටවල දේශපාලන තන්ත්‍රය හා බැඳුණු අතිශය සමීප සමාජ ප්‍රශ්නයක්. එය අපේ රටේ ඉන් ඔබ්බට ගිය සමාජ ප්‍රශ්නයක් ලෙස ඔබ දකිනවාද?
දුප්පත්කම තුරන් කිරීම යන මාතෘකාව මැතිවරණ සමයේ දී වඩාත් උණුසුම්ව සහ විවාදපන්නව සාකච්ඡාවට ලක්වන කාරණාවක්. එය අපේ රටෙත් මැතිවරණ පොරොන්දු ලබාදීමට කලින් කලට ඉස්මතු කරවනවා. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම දුප්පත්කම තුරන් කිරීම යනු සමාජයෙන් මුලිනුපුටා දැමීම යන අදහසයි. නමුත් එය දියුණු වෙමින් පවතින රටවලට එකවර ජයගත හැකි සමාජ ප්‍රශ්නයක් නෙමෙයි. දුප්පත්කම තුරන් කිරීම කියමින් අද කරන්නේ දුප්පත්කම පවත්වාගෙන යාම සහ දුප්පත්කම තවදුරටත් නඩත්තු කිරීමයි. මේ නිසා දුප්පතුන් අඩු වීමක් සිදු වන්නේ නෑ. නමුත් රජයකින් බලාපොරොත්තු වෙන්නේ දුප්පතුන් ජීවත් කරවමින් රටේ දරිද්රතතාව තුරන් කිරීමට කටයුතු කිරීමයි.
දුප්පත්කම යනු සෑම රටක්ම අඩු වැඩි වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නයක්. දුප්පත්කම මනින්නේ කොහොමද?
දිළිඳුකම මැනීමේ දී ආදායම සහ වියදම යන කාරණා දෙකම බලනවා. ආදායම කෙනෙකුට සැඟවිය හැකි මුත් වියදම සඟවන්න බෑ. ජනගහන සමීක්ෂණවලදී ඒ ඒ පුද්ගලයාගේ ආදයම් සහ වියදම් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සටහන් කර ගන්නවා. එම තොරතුරු පදනම් කරගෙන තමයි අපේ රටේ දුප්පත්කම මනිනු ලබන්නේ. ඕනෑම පුද්ගලයකුට මූලික අවශ්‍යතා තිබෙන අතර ඒවා ඉටු කර ගැනීමට මාසිකව වැය වන මුදලක් තිබෙනවා. ඒ සඳහා උපයන යම් ආදායමකුත් තිබෙනවා. එම ආදායමින් ඔහුගේ වියදම් ටික සපුරා ගැනීමට පුළුවන් ද බැරිද යන්න අනුව තමයි අපේ රටේ දරිද්‍රතා රේඛාව ගණනය කරන්නේ. උපයන ආදායම වියදමට ප්‍රමාණවත් නැතිනම් දුප්පත් ලෙස සලකනවා.
අපේ රටේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්?
2024 නවතම තොරතුරු අනුව එක් පුද්ගලයකු සඳහා මාසික වියදම අවම වශයෙන් රුපියල් 16373.00ක් .එය ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව ලෙස සලකනවා. දුප්පත් පුද්ගලයෙක් වුණත් ආහාර, ඇඳුම් පැලඳුම් බේත් හේත් ආදිය සපයා ගන්න මේ මුදල උපයාගත යුතුයි. පවුලක් වෙනවා. නැතිනම් කුටුම්භයක් ගත්තොත් පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා නම්, එම මුදල රුපියල් 65492.00ක් මෙපමණ මුදලක් උපයන්න බැරි නම් ඒ පවුල දුප්පත් ලෙස සලකනවා.
ඔය කියන දරිද්‍රතා රේඛාවට අනුව මාසික ආදායම් සීමාව මෙපමණ ඉහළ අගයකට ගියේ ආර්ථික අර්බුදයෙන් පසුව බවයි අපිට හැඟෙන්නේ. එය පැහැදිලි කරන්න?
රුපියල් 65492.00ක් කියන්නේ ප්‍රමාණාත්මකව ඉහළ අගයක්. අද මේ මුදල කුලී වැඩකින් දෛනික මුදලක් හොයාගන්න කෙනෙකුට තබා රජයේ අනිවාර්ය මාසික වැටුපක් ලබන තැන ත්තකුටත් ලැබෙන්නේ නෑ. මේ අගය මෙතරම් ඉහළ ගියේ 2022න් පසු ඇති වුණු ආර්ථීක කුණාටුවේ බරපතළ විපාකයක් හැටියටයි. ආර්ථික අර්බුදයට පෙර 15%ක් පමණ තමයි දුප්පතුන් හිටියේ. ජනගහනයෙන් නම්, ලක්ෂ 33ක් වෙනවා. අද එය දෙගුණයකට ආසන්න වෙලා. ඒ කියන්නේ ලක්ෂ 58කට ආසන්න වෙලා. ඒ කියන්නේ ලක්ෂ 25කින් දුප්පතුන් වැඩි වී තිබෙනවා. 2022ට පෙර දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටි ජනතාවගෙන් ලක්ෂ 25ක් ම ඒ රේඛාවෙන් පහළට වැටී තිබෙනවා. එනම්, කලින් දුප්පතුන් ලෙස නොසලකපු පවුල් අද දුප්පතුන්ගේ ලැයිස්තුවට වැටිලා. මෙය ඉතාම බරපතළ කාරණයක්.
නමුත් 2022ට පෙර ආර්ථික විශ්ලේෂකයින් රට ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කර ගෙන තිබෙන බව ප්‍රකාශ කළා. මේ පරස්පරාතව කුමක්ද?
ඒක මෙහෙමයි වුණේ. 2007-2008 කාලපරිච්ඡේදය තුළ මහින්ද රජපක්ෂ පාලන කාලය තුළ යම් ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා තමයි.
එය කොහොමද සිද්ධ වුණේ?
ඒ කාලය තුළ ණය අරගෙන රට තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මකව තිබුණා. සූරියවැව ක්‍රීඩාංගණය, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය මේ කියන දැවන්ත ව්‍යාපෘති කෙරුණා. ඒවායින් සත පහක ආර්ථික ප්‍රතිලාභයක් නැතත් සුදු අලියෙක් වගේ එම ව්‍යාපෘතිවල තරුණ සහ මැදිවියේ දහස් ගණනක් නිරත වුණා. නමුත් ඒ රැකියා තාවකාලිකයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන තුරු කොන්ත්‍රාත් පදනම මතයි ගත්තේ. නමුත් ඔවුන්ට යම් පඩියක් ලැබුණා. රටේ ආර්ථික වර්ධන වේගයක් ඇති නොවුණට පුද්ගලයකුගේ මාසික ආදායම ටිකක් ස්ථාවර වුණා. අන්න ඒ කරුණු පදනම් කරගෙන ඔය කියන ආර්ථික විශ්ලේෂකයින් ලංකාවේ තත්ත්වය හොඳයි කියලා සහතිකයක් දුන්නා.
දරිද්‍රතාව පිළිබඳ ප්‍රශ්නය යම් ආකරයකට හෝ සමනය කර ගැනීමට සහනාධාර වැඩසටහන් අපේ රටේ බොහොම ජනප්‍රියයි. ඉදිරියේදීත් එය එසේම වනු ඇත්ද?
ජාතික ජන බලවේගයේ දේශපාලන පොරොන්දු පත්‍රයේ අඩු අදායම්ලාභී පවුල් සඳහා අවම රුපියල් දසදහසක දීමනාවක් ගැන සඳහන් වෙනවා. අපි මුලින් සඳහන් කළ පරිදි දුප්පතුන් ජීවත් කරවීම සඳහා දීමනාවක් ලබාදීමේ වරදක් නෑ. නමුත් මෙම වැඩසටහන් සම්බන්ධයෙන් වඩාත් විවාදපන්න කාරණය මේ සහනාධාරවලින් පෝෂණය වන්නේ දුප්පතුන්ම නොවන බවයි. සහනාධාරයකින් යැපිය යුතු පිරිස නිවැරැදිව තෝරා වෙන් කර ගැනීමක් අපේ රටේ මෙතෙක් සිදුව නෑ. එම ලැයිස්තු සැකසෙන්නේ දේශපාලනීකරණයට අනුගතවයි. මේ ක්‍රමවේදය වහා වෙනස් කරන බවට ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ජනතාව බලා සිටින්නේ ඔවුන් ඒ සඳහා ගනු ලබන ක්‍රියා පිළිවෙත කුමක්ද යන්න පිළිබඳවයි.
ඔබ කියන්නේ සහනාධාර වැඩසටහන් අවශ්‍යම නෑ කියන එකද?
ජාතික ආර්ථිකයට යම් හෝ දායකත්වයක් ලබා නොදෙන්නේ නම්, සහනාධාර මතම යැපෙන්නන් නම් ඔවුන් ඇත්තටම රටට බරක් වෙන එක වළක්වන්න බෑ. රටේ වැඩි පිරිසක් මුළු ජීවිත කාලයම සහනාධාරවලින් යැපෙනවා නම්, රට ස්වයං ආර්ථීක වර්ධනයක් අත් කර ගන්නේ නෑ. අපි යෝජනා කරන්නේ අවුරුදු 2-3කට ලබාදෙන කෙටි කාලීන සහනාධාර වැඩසටහන්. ඒ අතරතුර ආදායම් මාර්ගයක් විවර කරගත යුතු බවට ඉලක්කයක් ඔවුන්ට ලබාදිය යුතුයි. ඒ පිළිබඳව පසු විපරමක් කළ යුතුයි.
දරිද්‍රතාව තුරන් කර සෑම පවුලකම ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔබ යෝජනා කරන සාරගර්භ වැඩපිළිවෙළ කුමක් ද?
සෑම පවුලකටම කිසියම් හෝ ජීවික වෘත්තියක් තිබිය යුතුයි. ආදායම් උත්පාදන මාර්ගයක් නොමැති නම්, එම පවුලට හැමදාම සහනාධාර මත යැපෙන්න සිදු වෙනවා. රජයටත් හැමදාම ඔවුන් නඩත්තු කරන්න වෙනවා. එහෙම නොවෙන්නට නම් එවැනි පවුල්වලට ආදායම් මාර්ගයක් රජයේ මැදිහත් වීමෙන් විවර කර දිය යුතුයි. එය රජයේ වගකීමක්. මෙහිදී ඇතැම් පුද්ගලයින්ට ඒ සඳහා විශේෂ හැකියා, දක්ෂතා නෑ. ඇතැමුන්ට මුදල් නෑ. තවත් අයට යටිතල පහසුකම් නෑ. රජය කළ යුත්තේ ජීවිකා වෘත්තියක් පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කර දීමයි. ජාතික ජන බලවේගය මෙතෙක් පැවති රජයන්ට වඩා වෙනසක් පිළිබඳ ජනතාවට ලබාදුන් පොරොන්දු පත්‍රය නිසා හැමදාම කතා කරන සහනාධාර මල්ලට වඩා වෙනස් ක්‍රමයක් ඔවුන්ගෙන් රට බලාපොරොත්තු වෙනවා.
ඉකුත් සමයේ රටේ ආර්ථික පරිහානියෙන් ඍජුව බැටකෑ පිරිසක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. මෙම කාණ්ඩයේ වැඩි පිරිසකට ආර්ථිකය තුළ උන් හිටි තැන් නැති වුණා නේද?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රටට ආර්ථිකයට දැවැන්ත කාර්යභාරයක් කරනවා. වෙළෙඳ මාෆියාව, ඒකාධිකාරිත්වයෙන් වෙළෙඳපොළ පාලනය කියන රටට වින කරන ක්‍රම මැඬ පැවැත්වීමට රටකට අවශ්‍ය වන්නේම ශක්තිමත් සුළු හා මැද පන්තියේ ව්‍යාපාරික ප්රජාවයි. ඔවුන් සවිබල ගැන්වීමට රජය කටයුතු කරන්නේ නැතිනම් ඒකාධිකාරි වෙළෙඳ පන්තියේ පාලනයට නතු වීමට මේ රජයටත් සිදු වෙනවා. මීට හොඳම උදාහරණ ලංකාවේ සහල් වෙළෙඳපොළයි.
ලංකාවේ සහල් මිල පාලනය කිරීම කළ හැකි බවද ඔබ කියන්නේ?
රජයකට ඒක කරන්න බැරිකමක් නෑ. ඒ සඳහා ක්රමෝපායන් තිබෙනවා. ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සහල් මෝල් හිමියන් ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටියා. ඔවුන් එම ව්‍යාපාරය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ගියා. ග්‍රාමීය වෙළෙඳපොළේ සහල් අවශ්‍යතාව සැපිරුවේ ග්‍රාමීය සහල් මෝල් හිමියන්. නමුත් පැවති රජයන් මේ කණ්ඩායම ශක්තිමත් කිරීමට අත දීමක් සිදු කළේ නෑ. ඔවුන් ක්ෂේත්රයෙන් ඉවත් වීමේ වාසිය ලබාගත්තේ සහල් මාෆියාව පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපාරිකයින් පස් හය දෙනෙක්. අදටත් ආණ්ඩුවට සහල් මිල පාලනය කරන්න බැරි වෙලා තිබෙනවා. නමුත් කරන්න බැරිකමක් නෑ.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහායක් නොමැතිව වුව ඒකාධිකාරයක් මැඬලිය හැකි බවද ඔබ පවසන්නේ?
ජනාධිපතිවරයා සතු විධායක බලතලවලින් මහජනතාව තළා පෙළන අක්‍රමිකතා පාලනය කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් වුවමනා කරන්නේ නෑ. මෙතෙක් පැවති රජයන් මෙවැනි ආකාරයේ ජනතාව පීඩනයට පත් කරන අත්තනෝමතික ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැක්කා. වත්මන් ජනාධිපතිවරයාට දුප්පත් ජනතාවයි වැඩියෙන් ඡන්දය දුන්නේ. ඒ නිසා මෙතෙක් රට තුළ වඩාත් උණුසුම්ව කතා බහට ලක් වුණු ආර්ථික දේශපාලන, සමාජයීය, ආගමික ආදී වූ සෑම ප්‍රශ්නයකටම ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් කඩිනමින් සහ විනිවිදභාවයකින් යුතු පිළිතුරු බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනතාව එවැනි උත්තර බලාපොරොත්තු වුණේ නෑ. හේතුව ඔහු තනිකරම ධනවාදී දේශපාලන න්‍යාය පත්‍රයක කටයුතු කළ කෙනෙක්. වත්මන් ජනාධිපතිවරයා සමාජවාදී නැඹුරුවක් සහිත දුප්පතුන්ගේ පැත්තේ හිටගෙනයි කතා කළේ. ජනාධිපතිවරයාට ඇතැම් නීති බලාත්මක කිරීමට උපරිම විධායක බලතල තිබෙනවා.
රට ගොඩගැනීම සඳහා ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්ද?
රට හමුවේ පවතින්නේ සැහැල්ලුවෙන් නොසැලකිය හැකි ණය බරක්. එයට ජනතාව කිසිසේත්ම වගකිවයුතු නෑ. ආණ්ඩුවට ජනතාව තළා නොපෙළා ප්‍රශ්නය විසඳා ගැනීමට වැඩපිළිවෙළක් සොයාගත යුතුයි. අපිට ඒ සඳහා විදෙස් රටවල සහාය අවශ්‍යයි. හිතවත් රටවලින් ණය නොව ආධාර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. ඉතිහාසයේ සිටම අපිට උදව් කළ නමුත් පැවති රජයන් විසින් නොසලකා හැර ඈත් කරගත් රටවල් ඉන්නවා. ජපානය, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය අපිට මිත්‍රශීලි රටවල්. මේ රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා නැවත ශක්තිමත් කරගෙන ඔවුන්ගෙන් ගන්න පුළුවන් දේ ගත යුතුයි. ඒ වගේම අයි.එම්.එෆ්. යෝජනා නැවත ගැළපීමකට ලක් කර පෞද්ගලික ස්වෛරී බැඳුම්කර වෙනුවට හිතවත් රටවලින් ලබා ගන්නා ආධාර රටට හිතකරයි. කැට හොල්ලා මේ රටේ ආර්ථිකය ගොඩදැමීම නම් කළ නොහැකියි.