පිහියෙන් අනින්න මී.500ක් එළවලා
අල්ලාගත් සැකකරු ළඟ වස කුප්පියකුත්
අනුරාධපුර කූඹිබිච්චන්කුලමවැව අසලදී තරුණියකට තියුණු ආයුධයකින් පහර දුන් තරුණයකු උල් පිහියක් සහ වස බෝතලයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි. තියුණු ආයුධයෙන් පහර කෑමට ලක් වූ තරුණියගේ ශරීරයේ බරපතළ තුවාල සිදු වී ඇති අතර, ප්‍රදේශවාසීන් ඇය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පහර දීම සිදු කළ තරුණයා එම ස්ථානයේ සිටි තරුණයන් විසින් අල්ලා අනුරාධපුර පොලීසියට භාර දෙනු ලැබ ඇතැයි වාර්තා වෙයි.
පිහි ඇනුම කළ සැකකාර පෙම්වතා සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙසින් සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන්, මේ පහර දීම කරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ තරුණිය එප්පාවල කටියාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක වන අතර, සැකකාර පෙම්වතා එප්පාවල පහළ සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි අනුරාධපුර මූල්‍යායතනයක සේවය කරන 30 හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.
මොවුන් දෙදෙනා ඊයේ (30) දහවල් හෝටලයකට යෑම සඳහා සූදානම් වූ අවස්ථාවේ සැකකාර පෙම්වතාගේ හැසිරීමේ වෙනසක් දුටු තරුණිය, ඔහුගෙන් මිදී දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් පමණ ඇය පිටුපසින් ලුහුබැඳ පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන බරපතළ තුවාල කර ඇතැයි පොලීසිය කියයි. පහර කෑමට ලක් වූ තරුණියගේ දෑත්, පිට, යටිබඩ ප්‍රදේශවලට බරපතළ තුවාල සිදුව ඇති අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී, උල් පිහියක් සහ වස බෝතලයක් සොයාගත් බවත්, ඔහු තම පෙම්වතිය ඝාතනය කර, තමාද වස පානය කර සියදිවි නසාගන්නට සැලසුම් කර තිබූ බවට සැක කරන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය. සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.