බලපත්‍ර සහිත තුවක්කුවකින් එකම පවුලේ සිවු දෙනකුට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි අඹුසැමි යුවළක් එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියේදී පළමු චුදිත වෙඩි තබා ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හේතුවෙන් බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් නිදෙස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ගලෙන්බිඳුණුවැව, මාවතවැව පදිංචි එන්. සුගතදාස සහ එම්. සීතාවතී නමැති අඹුසැමියන්ය.
මෙම අඹුසැමි යුවළට වෙන් වෙන් වශයෙන් රුපියල් විසි පන්දහස බැගින් වන්දි මුදල් සහ රුපියල් පනස් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකාර සිවු දෙනකුට නියම කළේය. එම වන්දි මුදල නොගෙවන්නේ නම් වෙන් වෙන් වශයෙන් මාස හය බැගින් ලිහිල් සිරදඬුවමක් ද අධිකරණයෙන් නියම කෙරිණ.
මෙසේ වන්දි නියම වූයේ හිටපු පොලිස් සැරයන්වරයකු වන ආර්. එම්. රෝහණ ප්‍රියන්ත, ජේ. චමින්ද රෝහණ ජයරත්න, ඩී. දිලිප් දේවේන්ද්‍ර සහ එම්. ජයරත්න යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ටය.
2012 වසරේ පෙබරවාරි මස 4 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් ගලෙන්බිඳුණුවැව මාවතවැවදී විත්තිකරුවන් මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 සහ 300 වන වගන්තිප්රකාරවය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විත්තිකාර අඹුසැමි යුවළගේ නිෙවසට ප්‍රහාර එල්ල කර දේපළවලට හානි කර වෑන් රථයකටද ගිනි තබා විනාශ කර ඇත්තේ ප්‍රදේශයේ මරණාධාර සමිතියක ඇති වූ ආරවුලක් පාදක කර ගෙන බවට අධිකරණ නඩු විභාගයේදී කියැවිණ. මෙහිදී විත්තිකාර පාර්ශ්වය බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ මල්ෂා මඩවල සහ ගිම්හානි හිරුණිකා මෙණෙවියන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ ප්‍රේමලාල් මහතා පෙනී සිටියේය.