ප්‍රශ්නගත මිග් යානා 8 මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර දැනට නිල් නිවේදන නිකුත් කර ඇති ඩී. එස්. එලායන්ස් සහ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම්වල අධ්යක්ෂවරුන් දෙදෙනාට නිකුත් කර ඇති නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (30) ප්‍රතික්ෂේප කළාය.
සැකකරුවන් දෙදෙනා විමර්ශන සඳහා සහාය වීමට මෙරටට පැමිණීමේ සූදානමින් සිටින බව කියමින් ඔවුන් දෙදෙනාට නිකුත් කළ නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.
සැකකරුවන් දෙදෙනාට එරෙහිව අවශ්‍ය තරම් සාක්ෂි ඇති බවත් වසර ගණනාවකට පෙර ආරම්භ කළ මේ විමර්ශනය සඳහා සැකකරුවන් කිසිදු සහායක් නොදුන් බවත් කියමින් නීතිපති දෙපාර්තමේන්තුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රුසියාවේ යුක්රේන මාෂ් සමාගම සහ ශ්‍රී ලංකා රජය නිසි ආකාරයෙන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් බෙරිමිසා හෝල්ඩිංග්ස් සමාගම මෙහි කටයුතු කරන බවත් පැවසුවද ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අස්සන් තබා නැතැයිද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අන්‍යෝන්‍ය සහයෝගිතා පනත යටතේ ජාත්‍යන්තරව කළ ඉල්ලීම් සහ කරුණු දැක්වීම් යටතේ මේ වනවිට කරුණු ගණනාවක් අනාවරණය වී ඇති බව කියා සිටි නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට අධිකරණය මඟින් නිකුත් කරන ලද නොතිසි, සිතාසි කුරියර් සහ ඊමේල් හරහා සැකරුවන්ට යොමු කිරීමෙන් අනතුරුව කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා විවෘත වරෙන්තු ලබා ගත් බවද සඳහන් කළේය.
අෙමරිකානු ඩොලර් මිලියන 7ට ප්‍රශ්නගත මිග් යානා 8 මිලදී ගෙන අෙමරිකානු ඩොලර් 14ක මිලකට මිලදී ගත් බවට අඟවමින් ශ්‍රී ලංකා රජයේ කිසිදු දැනීමක් නොමැතිව ඩී. එස්. එලායන්ස් සමාගම අපරාධමය වරදක් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.
අමෙරිකානු ඩොලර් මිලියන 7ට මිලදී ගත් මිග් යානා 8ට වැඩි මුදලක් වන අමෙරිකානු ඩොලර් මිලියන 14 කට මිලදී ගත් බව පවසා ඇති බවත් යුක්රේන මාෂ් සමාගම සමඟ ගිවිසුමකට එළැඹෙන බව පවසා ඩී. එස්. එලායන්ස් සමාගම එම යානා 8 මිලදී ගෙන වංචාවක් සිදු කර ඇතැයිද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
යුක්රේන මාෂ් සමාගම සමඟ ගිවිසුමකට එළැඹෙන බවට ශ්‍රී ලංකා රජයට දන්වමින් ගිවිසුම් ගත වී ඇත්තේ ඩී එලායන්ස් සමාගම සමඟ බවත් එහි අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන ටී.එස්. ලී සහ එන්.ජේ. ලේක්හිම් යන දෙදෙනාම බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගමේද අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් යුක්රේන මාෂ් සමාගම සමඟ ගිවිසුම් ගත වන්නේ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම බව ප්‍රකාශ කර ඇතත් කිසිදු ගිවිසුමකට එළැඹ නැතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. “අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ පනත යටතේ 18 වතාවක් තොරතුරු ඉල්ලා ලබා ගත්තා. සිදු කළ විමර්ශනවලට අනුව 2018.12.12 දින අධිකරණයට කරුණු දක්වමින් විවෘත වරෙන්තු ලබා ගත්තා. වසර ගණනාවක් ගත වී ඇතත් විමර්ශන සඳහා කිසිදු සහායක් දී නැහැ.” එහෙයින් වරෙන්තුව ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.