ප්‍රශ්නගත BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (30) නියෝග කළාය.
සැකකාර මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ පනත සහ රේගු ආඥා පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බවත් මෝටර් රථ පනත යටතේ ගොනු කළ හැකි චෝදනා දෙක දඩයක් නියම කළ හැකි චෝදනා වන බැවින් ඇප දිය හැකි වරදක් බවත් කියමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයා මෙලෙස ඇප මත මුදාහැරියාය.
ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන්ගෙන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටත් නියෝග කළ අතර ඇපකරුවන්ගේ පදිංචි සහතික විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් දැනුම් දුන්නාය.
එමෙන්ම විමර්ශන සඳහා බලපෑම් කිරීම නොකොළ යුතු බවටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව සඳහා එහි පෙනී සිටින ලෙසටත් නියෝග කර සිටියාය.
සැකකාර මන්ත්‍රීවරයා බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඇප මත මුදාහැර ඇති රියැදුරන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් මෙසේ කරුණු දැක්වීය.
”ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත සහ රේගු ආඥා පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ. මෝටර් රථ ආඥා පනත යටතේ චෝදනා දෙකක් ගොනු කළ හැකියි. ඊට දඩ ගැසිය හැකියි. ඔහුට දේශපාලන ගැහිල්ලක් තියෙන්නේ. ආණ්ඩු මාරු විය හැකියි. නීතිය කාටත් පොදු විය යුතුයි. විපක්ෂයේ සිටීම මීට හේතුවක්. හැමෝටම එක හැන්දෙන් බෙදිය යුතුයි. රැකවල් දාලා විශාල විමර්ශනයක් කරා. එය සිදු නොවිය යුත්තක්. දඬුවමක් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතුය. ඊට අදාළ නඩු තීන්දු තියෙනවා. මෙය ඇප දිය හැකි චෝදනාවක්. මේ වාහනය බ්‍රිතාන්‍යයෙන් සොරකම් කළ වාහනයක් බව පොලීසිය කිව්වා. රේගුවට අහු නොවී ආව ආකාරය සොයා බලන්න පුළුවන්. අනෙක් දෙදෙනා ඇප මත සිටින්නේ. සුදුසු ඕනෑම ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.”
කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කරනු ලැබීය.
සැකකාර හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.