කුරුණෑගල උඩබදලව පිහිටි පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිසුන් සිව්දෙනකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පෙරේදා (29) පාසල නිම වීමෙන් අනතුරුව උසස් පෙළ කලා හා වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර පාසල ඉදිරිපිටදී මෙම ගැටුම හටගෙන තිබේ.
බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසුව මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලිසිය කියයි. එහිදී සිසුන් කඩදාසි කැපීමට භාවිත කරන පේපර් කටර් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති සිසුන්ගේ හිස, මුහුණ, අත්පා, උදරය ඇතුළු සිරුරේ ස්ථාන රැසක කැපුම් තුවාල සිදුව ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම විදුහලේ ඉගෙනුම ලබන කුරුණෑගල තිත්තවැල්ල පදිංචි සිසුවකු ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඔහු උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකි.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන හේරත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.