එළැඹෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් රැසකගේ මුදල් පසුම්බි සහ ස්වර්ණාභරණ අතුරුදන්ව ඇති බවට හැටන් පොලිසියට පසුගියදා (29) දින පැමිණිලි කිහිපයක් ලැබී ඇත.
අද (31) දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයට, පිටතින් විශාල වශයෙන් වෙළෙඳුන් පැමිණ නගරයේ පදික වේදිකාවේ අනවසරයෙන් වෙළෙඳාම් කටයුතු සිදු කරන අතර, තවත් වෙළෙඳුන් පිරිසක් හැටන් – දික්ඔය නගර සභාවෙන් නීත්‍යනුකූලව බිම් කොටස් වෙන් කරගෙන වෙළෙඳාම් සිදු කරයි. මෙසේ පදික වේදිකාවේ වෙළෙඳාම් සිදු කිරීම හේතුවෙන් දැඩි තදබදයක් පැවතීම නිසා එම අවස්ථාවන්හි ඇතැම් පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි ගැට කපන්නන් විසින් සොරකම් කරනු ලැබ ඇති බවට හැටන් පොලිසියට පැමිණිලි ලැබෙමින් පවතින බව එහි නිලධාරියකු කියා සිටියේය. හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කර නගරයට පැමිණෙන පාරිභෝගිකයන් ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ සිංහල සහ දමිළ භාෂාවෙන් දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇත.
සැකටයුතු පුද්ගලයකු පිළිබඳව තොරතුරක් වෙතොත් නගරයේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරියා දැනුම්වත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, එසේ නොමැති නම් හැටන් පොලිසියේ 051-2222222 / 051- 2224444 යන අංකවලට දැනුම් දෙන ලෙසත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.