රජයේ පාලන මිලට නාඩු සහල් අලෙවි කිරීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් මැදිහත්ව පවතින ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බව දඹුල්ල ප්‍රදේශයේ සහල් තොග සහ සිල්ලර වෙළෙන්දෝ පවසති.
දැනට වෙළෙඳපොළේ නාඩු සහල්වල බරපතළ හිඟයක් පවතින බව ද ඔවුහු සඳහන් කරති. රජය, පාලන මිලට සහල් අලෙවි කරන ලෙස ව්‍යාපාරිකයන්ව දැනුම්වත් කර තිබුණ ද මෝල් හිමියන්, නාඩු සහල් මිලදී ගැනීමට නම් කීරී සම්බා සහල් මිලදී ගැනීම සිදු කළ යුතු බවට කොන්දේසි පනවා ඇතැයි ද වෙළෙන්දෝ කියති. නාඩු සහල් අලෙවි කිරීම ඉතා සීමිතව සිදු වන නමුත් ඒවා පාලන මිලට විකිණීමට හැකියාවක් නොමැති බැවින් ඉදිරියේදී නාඩු සහල් අලෙවිය නවතා දැමීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති. නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක පාලන මිලට අලෙවි කිරීමට නම් ඊට වඩා අඩුවෙන් මෝල්වලින් තොග වෙළෙඳසල්වලට ලබා දිය යුතු බව ද ඔවුහු සඳහන් කරති.මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔවුහු කියා සිටියේ, රජය පාලන මිලට අලෙවි කරන ලෙස වෙළෙඳ ප්‍රජාව දැනුම්වත් කළද පාලන මිලට සහල් නොමැති බවයි. එමෙන්ම, ඇතැම් වෙළෙඳසල් හිමියන් නාඩු සහල් සඟවාගෙන බිලක් ලබා නොදී හිතවත්කම්වලට පමණක් ඒවා අලෙවි කරන බව ද ඔවුහු පෙන්වා දෙති.