රබර් සඳහා ස්ථාවර මිලක් නොමැතිකමත් රබර් වගා කටයුතුවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීමත් නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ රබර් වගාකරුවෝ විවිධ කරදරවලට මුහුණපා සිටිති.
රබර් කිරි කැපීමේ කටයුතු සිදු කිරීමේදී කය වෙහෙසා වැඩ කිරීමට සිදු වන නිසාත් රබර් කිරි කැපීමේ නිරත පුහුණු ශ්‍රමිකයන් පිළිබඳව සමාජයේ ඇති විවිධ ආකල්ප නිසා තරුණ පරපුර මෙම කටයුතු සඳහා යොමු නොවීමට හේතුවී ඇති බව කර්මාන්තකරුවෝ පවසති. මීට අමතරව රබර් ආශ්රිත විවිධ නිෂ්පාදනය අඩු මිලට මෙරටට ආනයනය කිරීම නිසා රබර් මිල පහත වැටී ඇති බවත් රබර් වගාකරුවෝ පෙන්වා දෙති.
මුල් කාලයේ රබර් කිරි කැපීම පිළිබඳව පුහුණු පාඨමාලා තිබුණත් මේ වන විට එම පාඨමාලා නොමැති නිසා තරුණ පරපුරට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමේදී ඔවුන් විවිධ කරදරවලට මුහුණපා සිටිති. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය, වතුරුගම, මීරිගම, කිරිඳිවැල, ඌරාපොළ, අත්තනගල්ල සහ දොම්පේ යන ප්‍රදේශවල වැඩි වශයෙන් රබර් වගා කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.
වැලිවේරිය, ඇඹරළුව දකුණ, ටික්වත්ත ප්‍රදේශයේ පදිංචි බුද්ධික වික්‍රමආරච්චි මහතා මෙසේ පැවැසීය. මෙම ප්‍රදේශයේ රබර් කිරි මඟින් රබර් ෂීට් සහ මෙට්ට නිපදවීම වසර 35ක පමණ කාලයක සිට සිදු කරනවා. රබර් ආශ්රිත නිෂ්පාදන අඩු මිලට මෙරටට ආනයනය කිරීම නිසා රබර් ආශ්රිත දේශීය නිෂ්පාදන අලෙවී කිරීමේදී කර්මාන්ත කරුවන් විවිධ කරදරවලට මුහුණපා සිටිනවා. රබර් කිරි කැපීමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේදී අපි විවිධ ගැටලුවලට මුහුණපානවා. තරුණ පරපුර කය වෙහෙසා මෙවැනි කර්මාන්තවල නිරත වීමට උනන්දුවක් නොදැක්වීම මෙයට හේතු වෙනවා යැයි ඔහු පැවැසීය.
විශාල රබර් ඉඩම් කැබලි කර විකිණීම නිසා රබර් කිරි කැපීමේ නිරත ශ්‍රමිකයන්ට සිය කර්මාන්ත කටයුතු නිසි පරිදි සිදු කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් වැලිවේරිය, අඹරළුව දකුණ, ටික්වත්ත ප්‍රදේශයේ පදිංචි එස්. සජිත් දිෂාන් කුමාර මහතා කියා සිටියේය. රජය මැදිහත්ව හෝ රබර් කර්මාන්තයේ නිරත ශ්‍රමිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.a