සිම්බාබ්වේහිදී වසර 28කට පසුව බොක්සිං දිනයේ ටෙස්ට් තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එළඹෙන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේදි මේ තරගය පැවැත්වෙන අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ලබන වසරේ ජනවාරි 2 දා පැවැත්වීම ද විශේෂත්වයක් වී තිබේ.
එය සිම්බාබ්වේදී නව වසරක උදාවත් සමඟ (ජනවාරි මුල) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයයි. මේ ටෙස්ට් තරගාවලිය බුලවායෝහිදී පැවැත්වීමට නියමිතය.
සිම්බාබ්වේ අවසන් වරට බොක්සිං දින ටෙස්ට් තරගයකට සත්කාරකත්වය ලබාදී ඇත්තේ 1996 වසරේදී එංගලන්තය කණ්ඩායමටය. ඉන් පසු ඔවුන් 2000 සහ 2017දී බොක්සිං දින තරග ක්‍රීඩා කර ඇතත් ඒ සිය රටෙන් පිටතදීය.
මීට අමතරව දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සෙන්චූරියන්හිදීත්, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 4 වැනි තරගය මෙල්බර්න්හිදීත් බොක්සිං දිනයේ ආරම්භ වීමට නියමිතය.