Home » Lanka Corrugated Indus tries මෙහෙයුම් පුළුල් කරයි

Lanka Corrugated Indus tries මෙහෙයුම් පුළුල් කරයි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

මෙරට ඇසුරුම් ක්ෂේත්‍රයේ දශක තුනකට අධික කාලයක සිට නිෂ්පාදකයකු වන Lanka Corrugated Industries (LCI) සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත LCI සමාගම දශක තුනකට වැඩි කාලයක් පුරා උසස් තත්ත්වයේ සහ විශ්වසනීය ඇසුරුම් විසඳුම් සපයන සුවිශේෂ ආයතනයකි. ව්‍යවසායක සිඩ්නි ගජනායක මහතා විසින් පණ ගන්වන ලද එම සමාගම වර්තමානයේදී චීනයෙන් සහ යුරෝපයෙන් ආනයනය කළ නවීන යන්ත්‍රෝපකරණ සමඟ සිය මෙහෙයුම් පුළුල් කර ඇත. LCI සමාගමේ නව කර්මාන්තශාලාව බණ්ඩාරගම මිල්ලනියේ අක්කර 10ක භූමියක පිහිටා ඇත. එය වර්ග අඩි 100,000කට අධික මෙහෙයුම් ප්‍රදේශයකින් සමන්විතය. මසකට මෙට්‍රික්ටොන් 4,000ක පමණ නිෂ්පාදන ධාරිතාවක් සහිත එම කර්මාන්තශාලාව තුළින් පාරිභෝගික අවශ්‍යතා කාර්යක්ෂමව සැපිරීමට සමාගම අපේක්ෂා කරයි.

“උසස්ම තත්ත්වයේ ඇසුරුම් මඟින් අපගේ පාරිභෝගිකයන් සවිබල ගන්වමු” යන තේමාව ඔස්සේ පණ පෙවුණ LCI සමාගමේ අරමුණ වන්නේ දේශීය නිෂ්පාදකයන්ට මෙන්ම විදේශීය වෙළෙඳපොළටද ගුණාත්මකභාවයෙන් ඉහළ ඇසුරුම් සැපයීමයි. ඇසුරුමේ ශක්තිය, නව්‍යකරණය සහ අවම මිල යන අංශ තුළින් මෙන්ම සෑම ඇනවුමක්ම නියමිත වේලාවට සැපයීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම සමාගමේ අරමුණ වේ.

අමුද්‍රව්‍ය සපයා ගැනීම වඩාත් ස්ථාවර කිරීමේ අරමුණෙන් ඔවුන් ප්‍රධාන පෙළේ ඉන්දියානු කඩදාසි නිෂ්පාදන සමාගමක් සමඟ හවුල්කාරිත්වයකටද එළැඹ තිබේ. ඇසුරුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන බැනට් ගමලත් මහතා කොටස්කරුවකු සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස LCI සමාගමට සම්බන්ධ වීම තුළින් ආයතනය තව තවත් ශක්තිමත් වී ඇත. ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි අත්දැකීම් සහිත ඔහු අවම මිලක් යටතේ නව්‍ය සහ තිරසාර ඇසුරුම් නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීම මඟින් සමාගමේ අරමුණු සවිමත් කිරීමට කැප වී සිටී.

සමාගමේ සභාපති සිඩ්නි ගජනායක මහතා වාණිජවේදී උපාධියක් සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ඇති අතර MBSL Insurance, කෘෂි රක්ෂණ මණ්ඩලය සහ ජල සම්පත් මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන රැසක සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. පරමාණුක බලශක්ති නියාමන සභාවේ සභාපති ලෙසද ඔහු කටයුතු කර ඇත. බැනට් ගමලත් මහතා වාණිජවේදී ප්‍රථම උපාධියක් සහ වේල්ස් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර වරලත් ගණකාධිකාරිවරයෙක්ද වේ. සිය පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ ඇසුරුම් විසඳුම් සැපයීම උදෙසා නිරන්තරයෙන් සිය ව්‍යාපාර සහ මෙහෙයුම් බල ගැන්වීමට කටයුතු කරන බව සභාපති ගජනායක මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT