Home » 2026දී ප්‍රශ්න පත්‍ර බැංකුවක්

2026දී ප්‍රශ්න පත්‍ර බැංකුවක්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපිත කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

වසර 2026 වන විට මෙය ස්ථාපිත කිරීම සිදු කළ හැකි බවත් එමඟින් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම වළක්වාගත හැකි බවත් ඒ මහතා කීය.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතු පුද්ගලයන් අතට නොගොස් පරිගණකය ඔස්සේ සිදු කිරීමෙන් විභාග ප්‍රශ්න පත්‍ර සුරක්ෂිතව රඳවාගත හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

වර්තමානය වන විට විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිට වීම ගැටලුවක් වී ඇති බවත් පුද්ගලයන් මත තබා ඇති විශ්වාසයේ ගැටලුවක් හේතුවෙන් එම වරද සිදු වන අතර එය කිසිසේත්ම විභාග ක්‍රමවේදයේ ගැටලුවක් නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය යනාදිය පැවැත්වීමේදී විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම පසුගිය කාලය පුරාවේදීම ගැටලුවක්ව පැවැති බවත් එම ගැටලුව අවසන් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය වර්තමානය වන විට තිබෙන අතර එම තාක්ෂණය යොදා ගනිමින් ප්‍රශ්න පත්‍ර බැංකුව නිර්මාණය කිරීම සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT