Home » අලියයි රෝදෙයි එකට පැදවූ ඇස්.ඩී. ගේ සමනලයා

අලියයි රෝදෙයි එකට පැදවූ ඇස්.ඩී. ගේ සමනලයා

by mahesh
November 1, 2024 1:00 am 0 comment

උදිත ගුණවර්ධන

ගම්පහ පෙරළිකාර මිනිසුන්ගේ ආසනයකි. වමේ බළකොටුවක් වූ ගම්පහ ආසනය ප්‍රගතිශීලි අදහස් ඇති දැනුම්වත් මිනිසුන් තීන්දු තීරණ ගන්නා තැනකි. මෙවර මාලිමාවට රට පුරා රැළි නැඟ එද්දී උසටත් සැරටත් රැළි මතු වූයේ ගම්පහ ආසනයෙනි. මාලිමාවේ මුල්බිම් වූ තිස්සමහාරාම ,තංගල්ල පරදා අනුර සහෝදරයා ජනාධිපති කරන්නට වැඩිම කැමැත්ත ලැබුණේ ගම්පහ අසුනෙනි. එය සියයට හැටදෙකකි. වැඩි ඡන්ද ප්‍රමාණය අනුව පනස් දහසේ සීමාව ඉක්මවා යන්නකි. ගම්පහ එදා සිටි වීරයා ඇස්.ඩී. ය. ඔහු නිර්මාණය කළ වමේ පදනම නොවෙනස්ය. 1977 එජාප මහරැල්ලට පවා ගම්පහ නිල් ධජය නොවැටුණේ මේ ආසනයේ මිනිසුන් සිතනා අමුතු රටාව නිසාය. එදා සිට වමට බර වූ ගම්පහ නිර්මාණය කිරීමේ ගරුත්වය හිමි වන්නේ ඇස්.ඩී.ටය.

ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ගම්පහට අමුත්තෙක් නොවේ. යක්කල මඩුගස් වලව්වේ උපත ලද ඔහු පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන්නේ 1952 මහමැතිවරණයේදීය. එදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ගේ නායකත්වයෙන් ඇරැඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජයගත් මන්ත්‍රීවරු නව දෙනාගෙන් එක් අයකු වන ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා ගම්පහ ප්‍රදේශයේ පමණක් නොව මුළු රටම දන්නා චරිතයකි. 1956 මහමැතිවරණයේදී ගම්පහ ආසනයේ නියෝජිතයා ලෙස වැඩි ඡන්ද දහස් ගණනකින් ජයගත්අතර, එහිදි ඔහුට ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්වලට ඇරියුම් ලැබුණ ද තනතුරුවලට වඩා ජනතාව සමඟ එක්වීම හොඳ යැයි සිතූ ඔහු දීර්ඝකාලීනව ජනතාව අතරම රැදී දේශපාලනය කිරීමට තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන මහතා මූලික කරගත් පාගමනට ඉඹුල්ගොඩ දී එරෙහි වීම එම කාලයේදී දේශපාලන අංශයේ දැඩි කතාබහකට ලක් විය.

එදා දිනමිණ වාර්තා කළ අයුරු

එදා දිනමිණ වාර්තා කළ අයුරු

හොරගොල්ලේ බණ්ඩාරනායකවරු සමඟ ළඟ සබඳතා පැවැත් වූ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා 1959 බණ්ඩාරනායක ඝාතනයත් සමඟ දැඩි කම්පනයකට පත්විය. ඔහු විශ්වාස කළ ආකාරයට ශ්‍රිලනිපයේ නිල් ධජයේ ලේ තැවරී ඇති බවට ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අතර, ඒ මතය ශ්‍රීලනිපයෙන් වෙන්ව යෑමට ඇස්.ඩී. බණ්ඩාරනායක මහතාට බල කළේය.

බණ්ඩාරනායක අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු බෙදීම සටහන් විය.

බෝසත් බණ්ඩාරනායක පෙරමුණේ ලකුණ වූයේ අවිහිංසක සතෙකු වන ‘සමනලයා’ ලකුණයි. මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් මේ මැතිවරණයේ දී රෝදය ලකුණෙන් කේ. එම්. වී. ජයනෙත්ති මහතා තරග කළ අතර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ නියෝජනය කරමින් එච්. ආර්. සෙනෙවිරත්න මහතා තරග කළේය. මෙහිදී බෝසත් බණ්ඩාරනායක පෙරමුණ නියෝජනය කළ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ඡන්ද නවදහස් දෙසිය අටක් ලබා ගනිමින් ජයගත් අතර, ප්‍රතිවාදී මහජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඡන්ද හත්දහසේ සීමාව ඉක්මවා තිබුණි.

රට පුරා මුල් බැස තිබූ පිලිප් ගුණවර්ධන නායකත්වය දැරූ මහජන එක්සත් පෙරමුණ සහ ඩඩ්ලි සේනානායක නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂය පසෙකට කරමින් කෙටි දේශපාලන ඉතිහාසයක් තිබූ බෝසත් බණ්ඩාරනායක පෙරමුණ ජය ගැනීම විශේෂ දෙයක් වූ අතර, එම පක්ෂය නියෝජනය කරමින් තරග කළ එකම මැතිවරණ කොට්ඨාසය සහ එකම මන්ත්‍රීවරයා වූයේ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාය.

ඩඩ්ලි සේනානායක සහ පිලිප් ගුණවර්ධන

ඩඩ්ලි සේනානායක සහ පිලිප් ගුණවර්ධන

‘ඉඹුල්ගොඩ වීරයා’ ලෙස ප්‍රකටව සිටි ඇස්. ඩී. බණ්ඩාරනායක, 1960 දශකයේ මැද භාගයෙහි එන්. ශන්මුගදාසන් විසින් නායකත්වය දෙන ලද ‘ලංකා කොමියුනිස්ට් පක්ෂය’ (චීන පිල) සමඟ එක්විය. ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා තරම් ගම්පහ දේශපාලනයේ පෙරළි කළ සහ කතාබහට ලක් වූ නියෝජිතයකු නැති තරම්ය. 1977 මහ මැතිවරණයේ දී රටම එජාප රැල්ලට ගසාගෙන යද්දී ගම්පහ නිල් පැහැය රැක ගැනීමට හැකි වූයේ ඇස්.ඩී. එවර ශ්‍රීලනිපයෙන් තරග කිරීම නිසාය.

1977 සිට 1989 වසර වන තුරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හයෙන් පහක බලය සමඟ මන්ත්‍රීවරු අට දෙනකු සමඟ සටන් කළ ඇස්.ඩී. ගේ දේශපාලනය 1989 දී නිමාවට පත් විය. එහෙත් ඔහුගේ දේශපාලනය පිළිබඳ මතකයන් ගම්පහ ආසනයේ පැරැන්නන් තුළ තවමත් පවතින අතර, අක්කර සිය ගණනකට ඉඩම් හිමි ධනවතකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු දේශපාලනය නිසා හරිහම්බ කර ගත් දෙයක් නැත. එය ගම්පහ පක්ෂ විපක්ෂ සියල්ලෝම පිළිගන්නා ඇත්තකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT