Home » අවංක පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතා අපේක්ෂාවයි

අවංක පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතා අපේක්ෂාවයි

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී මහේෂ් සේනානායක

by mahesh
November 1, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

රටේ හෙට දවස වෙනුවෙන් අවංකව කැපවිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගැනීම ජනතාවගේ අභිලාෂය බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මහනුවරදී පැවති ජන හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රටට අවශ්‍ය නීතිරීති සම්පාදනය පාර්ලිමේන්තුවෙන් සිදු වෙනවා. ඒ සඳහා දැනුම සහ හැකියාව සහිත පිරිසක් තෝරා ගත යුතුයි. ජනප්‍රිය හෝ යම් යම් කණ්ඩායම්වල හිතමිතුරන් වූ පළියට ඡන්දය දිය යුතු නෑ. පසුගිය කාලයේ 225ම එපා කියලා ලොකු විරෝධයක් හැදිල තිබුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව. මේක පක්ෂ, පාට භේදකින් තොරව ජනතාව තුළ ගොඩනැඟුණු කලකිරීමක් එක්ක සිදු වූ දෙයක්. නමුත් දැන් අලුත් අය එන්න ඕනෙ කියන එකේ තේරුම හිටපු මන්ත්‍රීවරුන් වෙනුවට අලුත් මුහුණු පාර්ලිමේන්තුවට ගේන එක නෙවෙයි. වයසක අය වෙනුවට තරුණ අය ගේන එක නෙවෙයි. අර පක්ෂය වෙනුවට මේ පක්ෂයේ අය ගේන එක නෙවෙයි. ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් අවංකව පෙනී සිටින, රට වෙනුවෙන් අවංකව වැඩ කරන්න පුළුවන් දක්ෂයන් පාර්ලිමේන්තුවට පත් වෙන්න ඕන කියන එක.

පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති හදන තැන. ප්‍රතිපත්ති හදන තැන. රටේ මූල්‍යමය වගකීම තියෙන තැන. මේවා නිවැරදිව හසුරුවන්න, කළමනාකරණය කරන්න නම් ඒ ගැන දැනුමක් තේරුමක් තියෙන අය ඉන්න ඕන. ජනප්‍රිය වූ පළියට, කාගෙවත් හිත මිතුරන් නෑදෑයන් වූ පළියට, මිනිස්සු යවලා බෑ. දූෂිතයන් ජාවාරම්කාරයන් ගිහින් හරි යන්නේ නෑ.

මහනුවර කියන්නේ මේ වෙනකොට මෙරට විශාල අවදානමකට මුහුණ දී තියෙන නගරයක්. වායූ දූෂණය වැඩිම නගරය. අද ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්න එන වැඩිම පිරිසක් මේ වායු දූෂණය නිසා ලෙඩ රෝගවලට ගොදුරු වූ අය. දැන් මේකට විසඳුමක් හොයන්න මොන ඇමැති ද මන්ත්‍රීවරයා ද මැදිහත් වුණේ ? බෙහෙත්වලින් ගසා කාපු අය නම් හිටියා. මහනුවර සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවත්, විධිමත් වැඩපිළිවෙළක් යෝජනා කළ කෙනෙක් ඉන්නවාද? අනවසර ඉදිකිරීම්වලින් කොමිස් ජාවාරම් කළ අය නම් හිටියා. මහනුවර නිකම්ම නගරයක් නෙවෙයි.

මෙවර පාර්ලිමේන්තුවට මහනුවරින් මහජන නියෝජිතයන් පත් කරගන්න කොට අපට මේ මොහොතේ ඉ‍ටු විය යුතු අත්‍යවශ්‍ය සංවර්ධනය ගැන කතා කරන, ඒ ගැන සැලසුමත් තියෙන, අවබෝධයක් තියෙන දක්ෂ මිනිස්සු තෝරා පත් කර ගන්න. අපි සමගි ජන බලවේගය විදිහට දූෂිතයන්ගෙන් තොර, දක්ෂයන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් යෝජනා කරනවා. රට හදන, ගම හදන විධිමත් වැඩපිළිවෙළක් අපි යෝජනා කර තියෙනවා.

ඒ වගකීම දැරිය හැකි හොඳම අපේක්ෂකයන් අපි මහනුවරටත් ඉදිරිපත් කර තියෙනවා. පෞද්ගලිකව මට පොරොන්දු වෙන්න පුළුවන් සජබය පිළිගන්න ප්‍රතිපත්තිමය දේශපාලනය තුළ මම වැඩ කරනවා කියන එක. මම හැමදාමත් ප්‍රතිපත්තියක් එක්ක වැඩ කළ මිනිහෙක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT