කළුතර වාද්දුව ධර්මපාල විද්‍යාලයේ පසුගිය වසරේදී 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම ලකුණු ගෙන කොළඹ රාජකීය විද්‍යාලට ඇතුළත්ව 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අගන යුනාල් හස්මිර ශිෂ්‍යයා, හදිසියේම වැලඳුණු හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (31 ) ජීවිතක්ෂයට පත් විය.
යුනාල්ගේ හිත මිතුරන් ඇතුළු අසල්වැසියන් කීප දෙනකුම මියගිය පුතුගේ නිවෙසට යන මාර්ගය දෙපස සුද්ධ පවිත්‍ර කරමින් කොඩිවැල් එල්ලමින් සිටිනු දක්නට ලැබුණු අතර, නිවෙස ඉදිරිපිට විශාල බැනර් දෙකක් සවි කර තිබුණේ දුටුවන්ගේ නෙත් කඳුළින් තෙත් කරමිනි.
“අනේ මගේ රත්තරන් පුතා… එයා පවුලේ ලොකු දරුවා. පුතාගේ පෙණහලු පුපුරලා තිබුණා කියලා දැනගන්න ලැබුණා…” යි මියගිය පුතුගේ මව කඳුළු පිරි දෑස්වලින් පැවසුවාය.
පුංචි යුනාල් පුතු මුලින්ම අධ්‍යාපනය හැදෑරූ වාද්දුව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති රංජිත් කළුගල්ල මහතාගෙන් මේ පුංචි පුතු ගැන අප විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කළේ, “මේ දරුවා තමයි මගේ පාසලෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186ක් වූ ඉහළම ලකුණු ගත් එකම ශිෂ්‍යයා. යුනාල් කියන්නේ හරිම දක්ෂ දරුවෙක්. පාසලේ උදේ කාලයේදී රැස්වීම මෙහෙයවන්නේ එයා. පාසලේ විවිධ නිවේදන කටයුතු වගේම වෙනත් විවිධ බාහිර වැඩ වැඩිහරියක්ම කළේ මේ දරුවා තමයි. ඒ විතරක් නෙවෙයි එයා රූපවාහිනී වැඩටහන්වලටත් සම්බන්ධ වුණා. දරුවගේ හදවතේ සිදුරක් තිබිලා. ඊට පසුව ඔහුගේ පෙණහලුත් නරක් වී තිබූ බව දැනගත්තා. ඉස්කෝලෙ හැම ගුරුවරයෙක්ම එයාට සැලකුවේ එයාලගේ දරුවකුට සලකනවා වගේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි: අනාගතයේ දක්ෂ දරුවෙක් වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා ඉගෙනගෙන රටට ඉතා හොඳ වැඩදායී, ගුණවත්, නීතිගරුක හොඳ මානව සම්පතක් වෙන්න වෙන්න හිටිය දක්ෂම දරුවෙක් තමයි අපටත් රටටත් නැති වුණේ.”
මිය ගිය පුංචි යුනාල් පිළිබඳව ගමේ හැම කෙනකුම කතා කළේ ගමට හොඳ දරුවෙක් නැති වුණා යනුවෙනි.