රටේ හැම ජන නායකයකුම සේරුවිල මැතිවරණ කොට්ඨාසයට ඇවිත් කිව්වේ වැසී ගිය සීනි කම්හල නැවත ගොඩ ගන්නවා කියලයි. ඒත් ඒක කවදාවත් වෙන්නෙ නැති සිහිනයක් වුණා. ඒත් අද අපි ඔබට කියනවා අපේ ජයග්‍රහණයේ මුල්ම කටයුත්ත නැතිනම් අංක එක සීනි ආයතනය ගොඩ නැගීම යැයි ජාතික ජන බලවේගයේ සේරුවිල ආසන සංවිධායක ඉන්දික පරණවිතාන මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ අග්බෝපුර පැවැති පක්ෂ ප්රචාරක ජන රැලියක් අමතමිනි.
මේ කම්හල වසා දාලා දැන් අවුරුදු 30කට වැඩියි. එදා ඒ කර්මාන්ත ශාලාව වැහුවයි කියන්නේ කන්තලේ ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ ආදායම් මාර්ග ගොඩක් නැති වෙලා ගියා. අපි නැවතත් මේ කර්මාන්ත ශාලාව, තාක්ෂණය ප්‍රයෝජනයට අරගෙන වැඩිදියුණු කළ කර්මාන්ත ශාලාවක් බවට පත් කරනවා. කන්තලේ කිරි මුළු රටේම කතාබහට ලක් වෙනවා. මේ කර්මාන්තය වැඩි දියුණු කිරීමයි අත දීමයි අපේ බලාපොරොත්තුව. කන්තලේ සේරුවිල කියන්නේ ඔළුව පාවිච්චි කරනවා නම් සුරපුරයක් කරන්න පුළුවන්. සූරියපුර ඇති ජනරජන වැව කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කරගන්න මඟ පාදාගන්න අපි ළඟ දිගුකාලීන, කෙටිකාලීන සැලසුම් තිබෙනවා.
අපි මේ ප්‍රදේශයේ වැඩිහිටි, බාල, තරුණ තරුණියන්ට ආරාධනා කරනවා ප්‍රභූ නායක වන්දනාව මෙයින් නවතමු. ඔබ ඔබේ සේවකයකු ජන්දයෙන් පත් කරගන්න. ප්‍රභූන් පත් කරගෙන ඔවුන් නඩත්තු කිරීම නවතා දමමු.ඔබට අවශ්‍ය සේවය ඉටු කරවාගන්න අප හා එක්වන්න කියා අපි ඔබ සැමට ආරාධනා කරනවායි පැවසීය.