Home » ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ

ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ

-ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්

by sachintha
November 4, 2024 1:28 am 0 comment

රට පුරා ඇති විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය කිසිසේත් ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතා ඊයේ (03) පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, අකුරුගොඩ යුද හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සහ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක යුද හමුදාව ආගමික ස්ථානවලින් සම්පූර්ණයෙන් ඉවත් කර ගෙන ඇති බවට විවිධ ප්‍රවෘත්ති පළ කර ඇති බවත් මෙම සංවේදනාත්මක ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත් හෙතෙම මෙහිදී පැවැසුවේය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සිදු කරන අසත්‍ය ප්‍රචාරයන් සඳහා ඉදිරියේ දී නීති මඟින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර, ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් දුමිල් පතිරණ යන මහත්වරුන් සහභාගි වී සිටියහ.

මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ පැනයන්ට පිළිතුරු ලබා දෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසුවේ දැනට ශ්‍රී ලංකාව තුළ වෙහෙර විහාරස්ථානවල මෙන්ම විවිධ ආගමික සිද්ධස්ථානයන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් ආරක්ෂාව සහ ඉදිකිරීමේ කටයුතු සඳහා 1584 දෙනකු යොදවා ඇති බවත් ඉන් ආරක්ෂාව සඳහා නිලධාරීන් 364 දෙනෙක් සහ ඉදිකිරීමේ කටයුතු සඳහා 1220 නිලධාරීන් ප්‍රමාණයක් පළාත් නවයක දිස්ත්‍රික්ක දහසය තුළම යොදවා ඇති බවය. සමාජ මාධ්‍ය ජාලා සහ රූපවාහිනී නාලිකාවක් තුළින් මෙම නිලධාරීන් ඉවත් කර ඇති බවට මේ දිනවලදී කරනු ලබන සංවේදනාත්මක ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

වාර්ෂිකව පන්සල්, කතෝලික දේවස්ථාන, මුස්ලිම් දේවස්ථාන, හින්දු කෝවිල් හා විවිධ ආගමික සිද්ධස්ථානයන්හි පවත්වනු ලබන ආගමික උත්සව සඳහා ද ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ලබාදෙන ආරක්ෂාව කිසි විටෙකත් අඩුකර නොමැති බව ප්‍රකාශ කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ගැටලුවකට පිළිතුරක් ලබාදෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කිසිසේත් අඩු කර නොමැති බවයි. ඒ අතර කමාන්ඩෝ රෙජිමේන්තුව හා යුද හමුදාව, පොලිසිය මඟින් ලබා දී ඇති ආරක්ෂාව අඩු කර නොමැති බවත් ප්‍රකාශ කළේය.

ආරුගම්බේ ඇතිවූ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇතිවූ සිද්ධියේ දී යුද හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ වාසය කරනු ලබන දෙස් විදෙස් ජනතාවට ලබාදුන් ආරක්ෂාව ඉදිරියටත් එලෙසම ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් ලබාදීමට කැපවන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බළකා රෙජිමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් දුමිල් පතිරණ මහතාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ගැටලු සඳහා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් දිවයිනේ පළාත් හා ප්‍රදේශ කිහිපයක විහාරස්ථානවල සහ ආගමික සිද්ධස්ථානවල විවිධ ඉදිකිරීම් සේවා සහ නඩත්තු සේවා සඳහා යොදවා ඇති බවත් ඉන් කොළඹ ප්‍රධාන නගරයන් ආශ්‍රිතව පිහිටා ඇති උද්‍යානවල නඩත්තු කටයුතු සඳහා යොදවා ඇති බවත් එම නිලධාරීන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන අයුරින් අඩු කිරීමක් සිදු කර නොමැති බවත් එම වෛරී ප්‍රකාශයන්වල කිසිදු හරයක් නොමැති බවත්, එම ප්‍රකාශ තරයේ හෙළා දකින බවත් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නලින් හේරත් මහතා පැවැසුවේ සමාජ මාධ්‍ය ජාලාවලින් සහ විවිධ මාධ්‍යයන් තුළින් යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය පවත්වාගෙන යනු ලබන සේවාවන් කඩාකප්පල් කිරීමේ අදහසින් මහජනයා සමඟ ඇති සුහදතාවය නැති කිරීමේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් බවත් එම වෛරී සහගත සංවේදනාත්මක ප්‍රකාශයන්ට නොරැවටී මහජනතාවට ඕනෑම අවස්ථාවක මෙවැනි පුවත් සම්බන්ධයෙන් දවසේ පැය 24 තුළම යුද හමුදා මූලස්ථානයෙන් දුරකතනය මඟින් විමසා දැන ගැනීමට හැකි බවත් සමාජ මාධ්‍ය ජාලා හරහා යුද හමුදාව සම්බන්ධයෙන් පළවන වේදනාත්මක ප්‍රචාරයන් තරයේ හෙළා දකින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

සමාජ මාධ්‍යජාලා හා විවිධ මාධ්‍යයන් හරහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධයෙන් සිදුවන අසත්‍ය ප්‍රතිචාරයන් පිළිබඳ මාධ්‍යවේදීන් හරහා විද්‍යුත් නාලිකා හා පුවත්පත් තුළින් රටේ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිතුමන්ගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මෙම අවස්ථාවට දෙස් විදෙස් විද්‍යුත් නාලිකා සහ මුද්‍රිත පුවත්පත්, වෙබ් නාලිකාවන් හි මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි වී සිටියහ.

 

නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

ඡායා – දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT