Tuesday, May 13, 2025
Home » සැමියාගේ රෝහලේදී දොස්තර බිරිය මස්සිනා අතින් මරුට

සැමියාගේ රෝහලේදී දොස්තර බිරිය මස්සිනා අතින් මරුට

by sachintha
November 6, 2024 3:05 am 0 comment

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක තෙවැනි මහලේදී එම වෛද්‍යවරයාගේ බිරියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබියදී ඊයේ (05) අලුයම සොයාගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට… වෛද්‍යවරයාගේ බාල සහෝදරයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයා එම ඝාතනය සිදුවන අවස්ථාවේදී ඔහු සේවය කරන මඩකලපුව ශික්ෂණ රෝහලේ සිට ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ එන්ජලි සුමිත්‍රා ගණේකබාහු (63) නමැති කාන්තාවය. ඇය මෙම රෝහල් ගොඩනැඟිල්ලෙහි තෙවැනි මහලේ නේවාසිකව පදිංචිව සිට ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

උදෑසන රාජකාරියට පැමිණි රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඝාතනය දැක මේ බව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව එම ස්ථානයට පැමිණි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් ඝාතකයා එම ස්ථානයේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ වෛද්‍යවරයාගේ බිරිය ලන්ඩන් සිට ගුවන් මඟින් ලංකාවට පැමිණ අලුයම සිය වාසස්ථානයට පැමිණ කාමරයේ දොර විවෘත කරද්දී ඊට යාබද කාමරයේ නැවතී සිටි සැකකරු තියුණු ආයුධයකින් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන තිබිණි.

වයස අවුරුදු 55ක් වන සැකකරු ද මෙම රෝහල් ගොඩනැඟිල්ලෙහි එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිටින්නකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය භාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදු කර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ත්‍රිකුණාමලයේ මහ රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසත් නියම කළාය.

මෙම ඝාතනය කුමන අරමුණකින් සිදු කළේදැයි ගැටලුවක් ඇති බවත් සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් පොලිසිය සඳහන් කළේය.

අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීම මෙහිදී සිදු කළහ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය සිදු කරයි.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT