ආහාර ඇසුරුම් තුළ සඟවා රුපියල් කෝටි 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සිංගප්පූරුවේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ආ තායිලන්ත ජාතික කාන්තාවක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (04) ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන ඇය ගුවන්තොටුපොළින් පිටත්ව යෑමට සූදානම් වී ඇත්තේ හරිත මාවත (Green Channel) ඔස්සේය.
තායිලන්ත ජාතික මෙම කාන්තාව 33 හැවිරිදි වියේ පසුවන්නියක බව රේගු නිලධාරීන් සඳහන් කළේය.
ඇය තායිලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන්තොටුපොළේ සිට පෙරේදා (04) රාත්‍රී 11.55ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඇය විසින් රැගෙනවිත් තිබූ ආහාර අඩංගු ඇසුරුම් කීපයක් තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණය අසුරා, සඟවාගෙන පැමිණ තිබිණි.
අත්අඩංගුවට ගත් ගුවන් මගී කාන්තාව, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මෙරටදී ඇය මෙම මත්ද්‍රව්‍ය භාරදීමට නියමිතව සිටි පුද්ගලයන් හඳුනා ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.
තේ ඇතුළු ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල අසුරා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම් මෑත කාලයේදී ඉහළ ගොස් ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.
කටුනායක – ටී.කේ.ජී. කපිල