නොච්චියාගම පී.ඩී.ජී ඇග්රෝ බිස්නස් පෞද්ගලික සමාගමෙන් රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක් වටිනා කැබිලි බඩඉරිඟු ලබාගෙන මුදල් නොදී වංචා කර සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළ මෙන්ඩිස් සහ සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප හතරක් මත මුදා හැරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේසියක් පැනවීය. රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින අර්ජුන ඇලෝසියස් මහතාව මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය මඟින් ඊයේ (06) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
යළි 2025 වසරේ පෙබරවාරි මස 10 වැනි දින අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්රධාන මහේස්ත්රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් ප්රකාශයක් පවා නොගෙන අධිකරණයට කරුණු වාර්තා කර තිබීම ගැටලුසහගත බවය. එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෝෂ සහිත වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණ නියෝග ඉල්ලා සිටීම වැරදිසහගත ක්රියාවක් බව ද මහේස්ත්රාත්වරයා එහිදී ප්රකාශ කළේය. ඒ අනුව අදාළ දෝෂ සහිත වාර්තාවලින් ඉල්ලා ඇති ඉල්ලීම්වලට නියෝග ලබා නොදෙන බවට සඳහන් කළ මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම් ප්රතික්ෂේප කළේය.