1985 වසරේ ගම් උදාවෙන් පසුව ඇඹිලිපිටිය, නව නගරයක් ලෙස සංවර්ධනය වූ නමුත් සංකීර්ණ නගරයක් ලෙස මේ වන තුරුත් නිසි සංවර්ධනයට ලක් වී නොමැත. ඇඹිලිපිටිය පාලනය කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය‚ නගර සභාව හා ප්‍රාදේශීය සභාව මඟින් බවත්, එහෙත් ඇඹිලිපිටිය නිසි සංවර්ධනයකට ලක් වී නොමැති බවත් ජනතාව කියා සිටිති. පොලිසිය‚ රෝහල‚ උසාවිය‚ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය‚ තැපැල් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන රැසක් නව නගරයේ පිහිටා තිබේ.
එහෙත් කඩ සාප්පු සහිත ප්‍රධාන නගරය ලෙස ස්ථාපිත වී ඇත්තේ පල්ලේගම නගරයයි. නගර සභාව‚ බස් නැවතුම හා බැංකු විශාල ප්රමාණයක් පිහිටා ඇත්තේ පල්ලේගම නගරයේය. පල්ලේගම නගරයේ පිහිටි ඇඹිලිපිටිය බස් නැවතුමේ සිට යාපනය‚ වව්නියාව‚මන්නාරම‚ ගාල්ල‚ කොළඔ‚ මාතර‚ අනුරාධපුර ආදී නගර රැසක් කරා නිරන්තර බස් සේවා සැපයේ. නමුත් ඇඹිලිපිටියට නිසි බස් නැවතුමක් නොමැති අතර, බස් නැවතුම පවත්වාගෙන යනු ලබන්නේ පල්ලේගම එකල පැවති ඉපැරණි සොහොන් පිටියේය. එමෙන්ම රත්නපුර – නෝනාගම ප්‍රධාන මාර්ගය හා බදුලු බණ්ඩාරවෙල ප්රදේශවලට යන මාවත් වැටී ඇත්තේ පල්ලේගම නගරය හරහාය. එම මාර්ගවල ධාවනය වන බස් රථ නව නගරය හරහා ගමන් නොකිරීමෙන් රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීමට යන ජනතාවට මුදල් ගෙවා වෙනත් වාහනයකින් නව නගරය කරා යාමට සිදුව තිබේ.
ඉකුත් රජය සමයේ පල්ලේගම නගරයේ මාර්ග පුළුල් කිරීම සඳහා කටයුතු කිරීමේදී ඇති වූ අක්රමිකතා හේතුවෙන් වෙළෙඳ ප්‍රජාව නගර සභාවට හා අදාළ කණ්ඩායම්වලට එරෙහිව නඩු මඟට බැසීම ෙහ්තුවෙන් එය ද අතරමඟ නතර වී තිබේ. නගරයේ මේ වන තුරුත් නිසි රථ වාහන සැලැස්මක් නොමැති වීම හේතුවෙන් නිරන්තර වාහන තදබදයට ලක් වී ඇත. එසේම බස් නැවතුම අසලින් මොරකැටිය ප්රදේශයට ගමන් කිරීමට ඇති අතුරු මාර්ගය ද සංවර්ධනයට ලක් නොවීම හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා විශාල පිරිසක් ද අසීරුතාවයන්ට පත්ව තිබේ.
පල්ලේගම නගරයෙන් ආරම්භ වන මොරකැටිය ප්‍රධාන මාර්ගයේ අම්පාර‚ මඩකලපුව‚ පොතුවිල්‚ තණමල්විල‚ වැල්ලවාය‚ බදුල්ල ආදී නගර කරා බස් රථ ගමන් කරති. නගරයට යන එන රථ වාහන හා වෙළෙඳසල් හිමියන්ගේ වාහන ද ප්‍රධාන මාර්ගයේ දෙපස නතර කර ඇති හෙයින් නගරයේ වාහන තදබදයක් ඇති වනවා සේ ම වෙළෙඳසල් හිමියෝ ද පදික වේදිකාවේ ගමන් ගන්නෝ ද අපහසුතාවයන්ට ලක් වෙති. එමෙන්ම ප්‍රධාන ත්‍රීවිල් රථ ගාලක් ද නොමැති බැවින් නගරය පුරා තැනින් තැන අවසර හා අනවසර ත්‍රීවිල් රථ ගාල් පවත්වාගෙන යාම හේතුවෙන් විවිධ ගැටලු මතු වී අතැයි ත්‍රීවිල් සංගම් නියෝජිතයෝ කියා සිටිති. එසේම රාජ්‍ය ආයතන ඇඹිලිපිටිය පුරා විසිරී තිබීම හේතුවෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව ද අපහසුතාවයට පත්ව තිබේ. කෙසේ වුවත් ඇනහිට ඇති ඇඹිලිපිටිය සංවර්ධනය ක්රියාවට නංවා තම වගකීම් ඉටුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.