කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක.1015 දරන උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් අමෙරිකානු ජාතික විදේශීය තරුණියක් සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර අංක 19 දරන දුම්රිය බිංගෙයි ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා ඊයේ (6) පස්වරුවේ දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ නානුඔය සිට ඇල්ල බලා උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් අමෙරිකානු ජාතික විදේශීය තරුණියකි. මැය දුම්රියේ ගමන් කරමින් සිටියදී ඔහිය පට්ටිපොළ දුම්රිය බිංගෙය අසලදී දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී බිංගෙයි ගැටී දුම්රියෙන් ඇද වැටී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අනතුරුව මැය එම දුම්රියේම දමාගෙන හපුතලේ දුම්රිය ස්ථානයට රැගෙන විත් පසුව සුවසැරිය ගිලන් රථයක දමා දියතලාව රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය පැවැසීය. තුවාලකාරියගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කීය.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරි ඩී. බී.එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.