පුද්ගලයෙකුගෙන් රුපියල් 24,80,000ක මුදලක් ලබාගෙන එම මුදල් ආපසු ලබා නොදී වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය යන කරුණු මත අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අයෙකු රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් රසංජුලා පෙරේරා මහත්මිය පෙරේදා (05) නියම කළාය.
මෙසේ ඇප නියම වූයේ දෙහිවල, අත්තිඩියේ පදිංචිකරුවකු වූ බැරගම ගමගේ මහේෂ් චන්දන නම්වූ අයටය. කළුතර, නාගොඩ, පරණ පොලිසිය වත්තේ පදිංචි විශ්‍රාමික රේගු අධිකාරිවරයකු වූ කුරුඳුකාරගේ සුනිල් ජයරත්න යන අය විසින් කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
තමා මිතුරකු මාර්ගයෙන් මෙම සැකකරුව හඳුනා ගත් බවත්, ලිපි ද්‍රව්‍ය ආනයනය කර විකුණූ ලාභයෙන් කොටසක් සහ මුදල් ආපසු ලබා දෙන බව පවසා මුදල් ඉල්ලා ගත් බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම මුදල් වෙනුවෙන් මොහු අත්තිඩිය කොමර්ෂල් බැංකුවේ වසා දමා ඇති ගිණුමකින් චෙක්පත් ලබාදී තිබූ අතර ඒවා බැංකුගත කළ විට අගරු වූ බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරිය නඩු විභාගය සඳහා 2025 පෙබරවාරි මස 03 වැනි දිනට දින නියම කළාය.
කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර සහ සැරයන් (8500) විතාන යන මහත්වරු මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අතර
සැරයන් (41080) කරුණාරත්න මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.