Saturday, May 3, 2025
Home » වසරකට පොලීසියෙන් කෝටි 100ක වියදමක්
හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ආර­ක්ෂා­වට

වසරකට පොලීසියෙන් කෝටි 100ක වියදමක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

හිටපු ජනාධිපතිවරුන් පස් දෙනකු සහ අභාවප්‍රාප්ත ජනපතිවරයකුගේ බිරියකගේ ආරක්ෂාවට යොදවා ඇති පොලීසියේ වාහන 45ක් සහ පොලිස් නිලධාරින් 530 දෙනකු වෙනුවෙන් පමණක් වාර්ෂිකව රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් පොලීසියට වැය වන බව පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

පොලීසියෙන් නිකුත් කරන ඉන්ධන, පොලිස් නිලධාරින්ගේ වැටුප් හා දීමනා, පොලිස් නිලධාරින් නවාතැන් ගන්නා බැරැක්ක හා කාර්යාලවල විදුලි හා ජල වියදම් ඇතුළු පොලීසිය පැත්තෙන් වැය වන සියලුම වියදම් ඊට එකතු කර තිබේ.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන්ට හමුදාවේ ආරක්ෂාවන් පවා හිමි වන බවත් එම වාහන වෙත ලබාදෙන ඉන්ධන හා හමුදා සාමාජිකයන්ට ගෙවනු ලබන දීමනා හා වැටුප් මෙයට අයත් නැත. එසේම මෙකී විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා විශ්‍රාමික ජනපති බිරියට රජයේ වාහනද ලැබෙන අතර, එම වාහන මෙන්ම කාර්යමණ්ඩලය වෙනුවෙන් වැය වන වියහියදම් මෙයට ඇතුළත්ව නැත. ඒ සියල්ල එකතු කළ විට වියදම මේ හා දෙතුන් ගුණයක් වනු ඇති බව පොලිසියේ තොරතුරු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ දැනට සේවයේ නිරත හා විශ්‍රාමික නිලධාරින් මෙන්ම පොලිසියේ සිවිල් කාර්යමණ්ඩලයේ එක්ලක්ෂ දහස දහසක් පමණ වූ පිරිසකට ප්‍රතිකාර ගැනීම සඳහා ඇති පොලිස් රෝහලේ ඖෂධ මිල දී ගැනීම් සහ අනෙකුත් කටයුතු සඳහාද වැය වන්නේ රුපියල් කෝටි 150ක් පමණ වූ මුදලක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරු පස් දෙනෙක් සහ ජනපති බිරියක් ආරක්ෂා කිරීමට පොලිසිය පැත්තෙන් වැය කරනු ලබන්නේ පොලිස් රෝහලක් වසරක් පුරාවටම නඩත්තු කිරීමට වැය වන මුදලට ආසන්න මුදලක් බව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කළ දත්ත විශ්ලේෂණයකින් පෙනී ගොස් තිබේ.

මෙතරම් මුදලක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනපති බිරියක් වෙනුවෙන් පොලිසිය වැය කරන බව ඒ අය පවා නොදන්නවා විය හැකි බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT