Sunday, May 11, 2025
Home » ඉක්වටෝරියල් ගිනියාවේ මෙහේ නොඑන්නට

ඉක්වටෝරියල් ගිනියාවේ මෙහේ නොඑන්නට

by mahesh
November 8, 2024 1:00 am 0 comment

අප සිටින්නේ සමකය ආසන්නයේය. සමකය මත ද සමහරෙක් සිටිති. ඉක්වටෝරියල් ගිනියාව නම් රට පිහිටා ඇත්තේ සමක රේඛාවේය. අප්‍රිකානු කලාපයට අයත් මේ රටේ අගනුවර මාලාබෝය. එහි ජනාධිපති තෙමේ 82 හැවිරිදි ඔබියැන්ග් මහතාය. 1979 වසරේ කුමන්ත්‍රණයකින් බලය ලබාගත් ඔහු, අප්‍රිකාවේ දීර්ඝතම කාලයක් බලය හොබවන ලද පාලකයා වේ. ඒවා හොල්ලනු බැරි රාජ්‍ය නායක පුටුය. රජ පුටුව එසේ අල්ලාගෙන සිටින ඔහු මැතිවරණ පවත්වා ජය ලබන්නේ, වාර්තා පිහිටුවාය. 95% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඔහු 2022 මැතිවරණයෙන් හයවන වාරයෙත් ජයග්‍රහණය කළේය.

තෙලෙන් පොහොසත් හෙයින් මෙම රාජ්‍යය සශ්‍රීකය. ආර්ථිකයෙන් එවැනි ආස්ථානයක ඇත්තේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සපුරාම නාය ගොසින්ය. පාලකයා විවේචනය කළා යැයි මේ රටේ දේවගැතිවරයෙක් සහ හිටපු අධිකරණ ඇමැතිවරයකු සිටින්නේ සිරගෙදරය. “පාලකයා භූතයෙකි. ඔහු ජනතාව සිර කරගෙන ඇත්තේය.” යැයි සඳහන් කළ විට ඔය ආකාරයේ අකරතැබ්බයකට විවේචකයා මුහුණ දෙන්නේය. රට පාලනය කරනුයේ, නෑසිය පිරිවර විසිනි. ඒ පිරිවර වටා එහෙයියෝ රෑනක් රැස්ව ඇත්තේය. අද මේ තීරුව සිය ආරම්භය සඳහා ගනු ලබන්නේ එම පාලක වළල්ලේ සිටින ඥාතියෙකි.

ඉක්වටෝරියල් ගිනියාවේ, ජාතික මූල්‍ය විමර්ශන ඒජන්සිය නම් ආයතනයක් තිබේ. රටේ සියලු මූල්‍ය කටයුතු පිළිබඳව විමර්ශන කාර්යය පැවරී ඇත්තේ එයටය. එහි අධ්‍යක්ෂ ජනරාල් බල්ටසාර් එන්ගොන්ගාය. ඔහු ජනාධිපති ඔබියැන්ග්ගේ කිට්ටු නෑදෑයෙකි. වෙනත් කටයුත්තක් සඳහා පැමිණි ඒ රටේ අල්ලස් කොමිසමේ නිලධාරීහු, මෙම ඒජන්සියේ ලිපි ගොනු පරික්ෂා කරන අතරේ වීඩියෝපට රාශියක් සඟවා ඇති ආකාරය දුටුවේය. ඒ සියල්ල අසභ්‍ය වීඩියෝ විය. එහි ඇති සියලු අසභ්‍ය දර්ශන සඳහා රංගනයෙන් දායක වී සිටියේ, මූල්‍ය විමර්ශන ඒජන්සියේ ප්‍රධානි, බල්ටසාර්ය. වයස අවුරුදු පනස් හතරක් වන බල්ටසාර් සිය රංගන බොහොමයක් මේ ආකාරයට කැමරා සෙටප් කර පටිගත කරගෙන ඇත්තේ රහසේය. සිය කාර්යාලය තුළ මේ සියල්ල සිදු කර ඇත්තේ හෙයින්, රාජ්‍ය දේපොළ අයථා ආකාරයෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු දැන් සිටින්නේ අත්අඩංගුවේය.

රටේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ භාර්යාවන් ද ඇතුළුව සිය කාර්යාලයේදී බල්ටසාර් මේ ආකාරයෙන් කටයුතු කරන ලද වීඩියෝපට 400කට වැඩි ප්‍රමාණයක් විමර්ශකයෝ දැන් සොයාගෙන තිබේ. බලාගෙන ගිය කල්හි, මේ යෝධයාට කාර්යාලය තුළ ඇඳුමක් ඇඟලාගෙන සිටීමේ අවස්ථාවක් ලැබී නැත. නාන කාමරයේ සේ බල්ටසාර් සිය කාර්යාලයේ ද කටයුතු කර ඇති බව දැන් පෙනී ගොස් ඇත.

රටේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ භාර්යාව ඇතුළු ඉහළ පෙළේ නිලධාරින්ගේ පවුලේ සමීප සාමාජිකයන් සහ ජනාධිපති ටියෝඩෝරෝ ඔබියැන්ග්ගේ සොහොයුරිය ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ගේ ඥාතීන් ද මෙම වීඩියෝ දර්ශන හි බල්ටසාර් සමඟ සිටින්නේය.

බලය අයුතු ලෙස භාවිත කිරීමේ වපසරිය සඳහා, ඊයේ පෙරේදා අත්දුටු උදාහරණයක් එසේය. පෙරේදා මේ රටේ අධිකරණය විසින් දෙන ලද තීන්දුවක් මෙතැන් සිට අපේ කතාව සඳහා මාතෘකා වන්නේය.

2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ, බස්රථ අමතර කොටස් ආනයනය කර සැපයීම සඳහා ස්ටිල් ඉම්ෆෙක්ස් ඉන්දීය (පෞද්ගලික) සමාගම සමඟි ගිවිසුමක් ඇති කර ගෙන තිබුණි. මෙම ගනුදෙනුවේදී ඉන්දීය සමාගමේ දේශීය නියෝජිතයා ලෙස පංචිකාවත්තේ පිහිටි ස්ටිල් ඉම්ෆෙක්ස් ලංකා (පෞද්ගලික) සමාගම කටයුතු කළේය.

රජය මඟින් මේ සඳහා බදු සහන පිරිනමන අතර, අදාළ අමතර කොටස් ගෙන්වා ලංගමට භාර දීම පංචිකාවත්තේ සිටින දේශීය නියෝජිත ආයතනයේ කාර්යය විය. ඔය අතරේ රේගුවේ කිහිප දෙනෙක් පංචිකාවත්තේ සමාගමෙන් අල්ලසක් ඉල්ලා සිටින්නේ, බදු ප්‍රශ්නයක් මතුකරගෙනය. මෙය දිගින් දිගට ඇදී යන හෙයින් පංචිකාවත්තේ දේශීය නියෝජිත ආයතනයේ හිමිකරු, බන්දුසේන බැරිම තැන අල්ලස් කොමිසමට සිද්ධිය ප්‍රකාශ කළේය. රුපියල් කෝටි පහළොවක අල්ලස් මුදලක් රේගුවේ සිව්දෙනා ඉල්ලා සිටින බැවින් ඒ සඳහා ඔහු සතුව තිබුණේ එම පිළියම පමණය. ගාණ අඩු කරගෙන රුපියල් මිලියන 125ක් බවට අවසානයේදී එය පත්විය.

අල්ලස ගැනීම සඳහා පංචිකාවත්තේ කාර්යාලයට ආ සැණින්, වෙස් වලාගෙන ඇතුළේ සේවකයෝ ලෙස සිටි සහ එළියේ රාජකාරිමය වශයෙන් සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ රේගු ලොක්කන් පිරිස අල්ලා ගත්හ. වීර ආකාරයෙන් අල්ලස් ඉල්ලා බලපෑම් කළ පිරිසෙන් එක් අයෙක් වෙත එවෙලේම ඇඳුමේ මුත්‍රා පහ විය.

මේ රටේ අතට අහුවුණු ලොකුම අල්ලස් සිද්ධිය එයය. මේ සිව්දෙනාට, කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පෙරේදා, බරපතළ වැඩ සහිතව වසර 35ක සිරදඬුවමක් නියම කළේය.

අල්ලස් ලෙස ගැනීමට අපේක්ෂා කළ රුපියල් මිලියන 125ක මුදලට සමාන මුදලක් එක් එක් විත්තිකරුවන්ට වෙන වෙනම දඩයක් ‍ ලෙස රජයට ගෙවීමට ද එහිදී අධිකරණය නියෝග කළේය.

මිනිහෙක් හිරේ විලංගුවේ වැටෙනවා කියූ විට ශෝකයක් ජනිත වන්නේ මුදු, මේ දඬුවම ඇසූ කල්හි අප ප්‍රීතියෙන් පිනා ගිය වග සටහන් කළ යුතුය. ඒ වනාහි මේ රටේ අල්ලසට දඬුවම් ලැබෙන ආකාරය බව ජනයාට වැටහෙන්නේය. එසේ වූ කලි ජරාව කන්නා වෙත තමන්ගේ ඉරණම ද, මේ බව සිහියට එන්නේය. මෙවැනි ආදර්ශසම්පන්න දේ තව වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා යන්න දිනමිණ පැතුමය. එසේ නොමැත්තේ නම්, ඉක්වටෝරියල් ගිනියාවේ කතා ද අපට ළඟ ළඟ අසන්නට ලැබෙනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT