Sunday, May 11, 2025
Home » ගීත ක්ෂේත්‍රයේ රැජනට චිරං ජයතු

ගීත ක්ෂේත්‍රයේ රැජනට චිරං ජයතු

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ලතා වල්පොළ අද

රැජනක් වන්නට පින් පුරන්නට ඕනෑය. ආත්ම ගණනාවක සිට ඈ එසේ පින් පුරන්නට ඇත. මේ රැජනට රන්, රිදී, මුතු, මැණික් ආදී වූ වස්තූන් නැත. එහෙත් ඊටත් වටිනා වූ මිල කළ නොහැකි සම්පතකට ඈ හිමිකම් කියන්නීය. ඒ ඈ සතු වන්නාවූ අති රමණීය, මන මෝහණීය කටහඬය. ඈ මෙරට ගීත ක්ෂේත්‍රයේ කිරුළ පලන් රැජන ලතා වල්පොලය. ලතා වල්පොලලා ඇත්තේ ලොවටම එක් කෙනෙකි. ඒ හඬ හිමි ගායිකාවක් ඉන්පෙර සිටියේ නැත්තා සේම ඇගෙන් පසු බිහිවූයේ ද නැත. වර්තමානයේ නැත්තාසේම අනාගතේ බිහිවේයැයි ද සැකසහිතය. එබැවින් අපට ඇත්තේ එකම එක ලතා වල්පොල කෙනෙකි. අද ඈ සිය ජීවන ගමන් මගේ 90 වැනි වියට පා තබන්නීය. එවන් දිර්ඝායුෂ විඳින්නට සේම මේ දක්වාම සුවහසක් ගීත ලෝලීන් නළවන්නට හිමිවු ආදරණීය කටහඬ පෙරදා මෙන්ම මේ මොහොතේත් අප සවනට මී බිඳුවත් කරන්නට තරම් පින්වන්තය. ගීත ක්ෂේත්‍රයේ රැජන වූවා සේම ඈ තම පෞද්ගලික ජිවිතයේ ද රැජනක වන් මවක වූවාය. ජීවන ගමනේ අනේකවිධ දුක් පීඩා මැද ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටිමින් තම දරුවන්ට ආදරණීය අම්මා කෙනෙකු වූ ඇය අද සිය ජීවිතයේ සන්ධ්‍යා භාගය සිය දරු මුනුපුරු, මී මුනුපුරු මිනිබිරියන්ගේ සෙවණේ ආදරය ලබමින් පසුවන්නීය. ඉඳින් ඈ ඇගේ නි‍ෙවසේ මෙන්ම පරම්පරාවේ ද රැජන නොවන්නේ ද?

අනූ වැනි වියට සම්ප්‍රාප්ත වුවද, ඇගේ සිතුවිලි තවමත් තරුණය.

ඈ ඉපදුණේ 1934 නොවැම්බර් 11 වැනිදාවකය. ලතා වල්පොල උත්පත්තිය ලබන්නේ කොළඹ, බම්බලපිටියේ ‘ධවලගිරි’ නිවෙස උත්පත්ති ස්ථානය කොටගෙනය. ඇගේ පියා සිංහල කතෝලික පවුලකින් පැවත ආ ජෝශප් ලීනස් ප්‍රනාන්දුය. ඇගේ මව දකුණින් පැමිණි කාන්තාවක වූ එලිසබෙත් මියුරියෙල්ය. ඇය කන්‍යාරාමයක ගුරුවරියක වූවාය. මේ දෙදෙනාට දාව උපන් ලතාගේ උප්පැන්නයේ සඳහන් නම වන්නේ රීටා ජෙනවි ප්‍රනාන්දුය.

රීටා, බහ තෝරන වියේ සිට ම සංගීතයට ප්‍රිය කළාය. දැඩි කතෝලික භක්තික පවුලක් වූ ඔවුන්ට නිවෙස තරම්ම පල්ලිය ද සිය ජීවිතයට සමීප ස්ථානයක් වූයේය. ඉතාම කුඩා කාලයේ සිටම මවගේ අතේ එල්ලී පල්ලියට ගිය ජෙනවි, එහි ගීතිකා කණ්ඩායම ලතින් බසින් මුමුණන ගීත නිවෙසට පැමිණ මුමුණන්ට පටන්ගත්තාය. මේ ඇසූ ජෙනවි ගේ මවට ‘කෙල්ල කවදහරි ගායිකාවක් වේවි ද දන්නේ නැහැ” යැයි සිතුණ වාර නම් අනන්ත විය.

අම්මාගේ සිතුවිල්ල නිවැරදි විය. දිනෙන් දින මෝරා වැඩෙන සිය දියණියගේ හැකියාවන්, දක්ෂතාවන් දෙස ජෙනවිගේ මව ද බලා සිටියේ මහත් වූ උනන්දුවකිනි. මේ හැකියාවන් හඳුනා ගත් ඇගේ අසල්වැසියකු වූ විල්මන් අයියා සින්දු පුරුදු පුහුණු කරන තැනකට ජෙනවි රැගෙන යන්නෙමියි කියමින් සංගීතඥයකු, නළුවකු මෙන්ම ගුවන්විදුලි ගායකයකු ද වූ සී.ඒ. ෆොන්සේකාගේ නිවෙසට රැගෙන ගියේය.

ජෙනවිට සී.ඒ. ෆොන්සේකාගේ දරුවන් සමග මුල්වරට ගුවන් විදුලියෙන් අත්වැල් ගායනයට එක්වන්නට අවස්ථාව ලැබිණ.

ඒදා තරුණ වල්පොළ යුවළ

ඒදා තරුණ වල්පොළ යුවළ

1947 වසරේදී ජෙනවිට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වූයේය. ඒ එවකට ගල්කිස්සේ පදිංචිව සිටි දක්ෂ වයලීන වාදකයකු සේම ගායකයකු ද වූ වින්සන් ද අල්විස් නිසාය. එවකට ප්‍රසිද්ධ ගායකයකු වූ සුසිල් ප්‍රේමරත්නගේ සංගීත වැඩසටහන්වල වයලීනය වාදනය කළේ ද ඔහු විසිනි. ජෙනවිගේ පවුලේ හිතවතකු වූ වින්සන් ද අල්විස් ඇගේ දක්ෂතාවන් දැනහඳුනාගෙන සිටි බැවින් ඇයට ගීතයක් ගායනා කිරිමේ අවස්ථාව උදාකර දුන්නේය.

සරත් විමලවීර විසින් රචනා කරන ලද එම ගීතය ‘ කඳුළු දෙනෙතේ වෑහෙනා ‘ නම් විය. වින්සන් ද අල්විස් සමඟ ගුවන්විදුලියට ඇය ගැයූ ප්‍රථම ගීතය වූ මෙය සංගීතවත් කළේ එඩ්වඩ් පෙරේරා විසිනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 13 කි. ඇගේ කටහඬේ තිබුණු සුගායනීය මිහිරියාව හඳුනා ගත් සී. ඒ. ෆොන්සේකා ද ජෙනවිට සිය පුත් අර්වින් ෆොන්සේකා සමඟ ගයන්නට ‘මරිය මව්’ බැති ගීතයක් සාදා දුන්නේය. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ කාලිදාස කුරුකුලසූරිය විසින් රචිත මේ ගීතය 1947 දී ජෙනවි ගුවන්විදුලියට ගායනා කළාය.

නමෝ මරියනි නමෝ මරියනි
නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනී

වාසනාව පසුපස එන්නාක් මෙන් ජෙනවිට ද ජනප්‍රිය ගායක සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ගීත ගයන්නට අවස්ථාව උදා වූවාය. ජෙනවිගේ කටහඬ පරික්ෂා කරන්නට සුසිල්ට වුවමනා විය. ඇය ඒ වෙනුවෙන් ගායනා කළේ ලතා මංගේෂ්කාර් විසින් ගායනා කරන ලද හින්දි ගීතයකි. සුසිල් ප්‍රේමරත්නයන් ඇගේ හඬට වශී වූයේය. එහෙත් ඇගේ රීටා ජෙනවි යන උප්පැන්නයේ සඳහන් නමට ඔහු නොකැමැති විය. ඔහු පැවසුවේ රීටා ජෙනවි යන නම කලා ලෝකයට නොගැළපෙන බවය. සුසිල් එතැන් සිට රීටා ජෙනවි ‘ලතා ප්‍රනාන්දු’ ලෙස හැඳින්වූයේය. එතැන් පටන් සුසිල් ප්‍රේමරත්නයන් හා ලතා ප්‍රනාන්දු අතර වූ සංගීත සංයෝජනය ලතාට මේ මාර්ගයෙහි බොහෝ දුර යන්නට පිටිවහලක් වූයේය.

ලතා ගී රැජනක ලෙසින් අදටත් කිරුළ පලඳින්නේ ඇය ගායනා කළ චිත්‍රපට පසුබිම් ගායනා සඳහාය. ඇයට චිත්‍රපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයට මුල්ම ආරාධනාව ලැබෙන්නේ එසේ මෙසේ පුද්ගලයකුගෙන් නොවේ. එවකට චිත්‍රපට බෙදාහැරීමේ මෙන්ම නිෂ්පාදනයේ ද සුප්‍රකට ආයතනයක් වූ සීමාසහිත සිනමාස් සමාගමේ අයිතිකරු කේ. ගුණරත්නම්ගෙනි. ඒ “සුජාතා” චිත්‍රපටයට ගීත ගායනා කරන්නටය.

සිංහල සිනමා ඉතිහාසයේ 17 වැනි චිත්‍රපටය ලෙසින් නම් ලද ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘එදා රෑ’ චිත්‍රපටයෙන් ලතා. ජී. ප්‍රනාන්දු චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින් දොරට වැඩියාය.

එහෙත් ලතා චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක වශයෙන් සිය ආධිපත්‍යය පතුරුවන්නේ 1953 මාර්තු 27 වැනිදා තිරගත වූ ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයෙනි.

චිත්‍රපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයට ලතාගේ ප්‍රවිෂ්ටය සුවිශේෂියි. එමෙන්ම එතෙක් ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත කලාවේ එකම හඬ ස්ථාපිත වී තිබුණි.

ලතා සතුව තිබුණේ චිත්‍රපට පසුබිම් ගායනයටම යෝග්‍ය වු හඬ පෞරුෂයකි. ස්වර සප්තකත්‍රයෙහිම පහසුවෙන් ගමන් කළ හැකි තියුණු තාරතාවකින් යුතු හඬකි. මතු දැක්වෙන ගීත ඊට හොඳම උදාහරණ සපයන්නේය. “හොඳ හොඳම වේය ලොව, (ප්‍රේම තරගය) ප්‍රේමයේ චන්ද්‍රයා, ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ, (අහංකාර ස්ත්‍රී) පෙම් ලෝකේ නයන රසී, මිහිර පෙන්වා දී ආලේ පෑ, මා හදේ (රදළ පිළිරුව) ඉවසන හදේ, දිනිදා උදය, සඳ කොමලි තරු පිරි වරලා, පෙම් මාලා ගොතා ගෙලේ, සුලලිත වූ කලා මිහිරෙන් (මාතලන්) පෙරදිග මුතු ඇටයකි මේ, මාව හංගා වනේ, හැබැවේ සිහිනය මාගේ, පෙම් රාජ්‍යයේ, ලොව සෙත සතර (ඩිංගිරි මැණිකා) පුරහඳ ලෙස මම බබළනවා, ඉගිබිගි පාලා කුල්මත් විලා, (දුප්පතාගේ දුක) සීගිරි ළඳකගේ මල් වට්ටියේලා (රේඛාව) ” ප්‍රේම තරගයෙන් පසු ලතාගේ ගායන ලතාව මෙරට චිත්‍රපට පසුබිම් ගී ක්ෂේත්‍රය පුරා පැතිර ගියේය. ධර්මදාස වල්පොල සමඟ යුග ගායනයට ප්‍රථමයෙන් එක්වූ ඇය පසුව ලතා – ධර්මදාස යුගයක් නිර්මාණය කරන්නට ආරම්භක පියවර තැබුවාය. ප්‍රේම තරගය චිත්‍රපටයේ ගීත තුඩ තුඩ රැව්දෙන්නට පටන් ගත්තේ මේ නැවුම් ගී හඩ පිළිබඳ අවධානය ද යොමු කරමිනි. එවකට මෙරට ප්‍රවීණ සිනමා විචාරකයකු වන ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතට ලිපියක් ලියමින් කෙදිනක හෝ මේ කටහඬ හිමි ගායිකාව ලංකාවේ ජනප්‍රියතම ගායිකාවක් බවට පත්වන බවට අනාවැකි ද පළ කළේය.

ලතා – ධර්මදාස සුසංයෝගය සිනමා ගීත ඉතිහාසයේ රන් සලකුණක් සලකුණු කළේය. මේ සුසංයෝගයෙන් නිර්මාණය වූ ගී නිර්මාණ සේම ඔවුහු දෙපල ආදරණීය දූදරු පිරිසක්ද මෙලොවට බිහිකළහ. සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද දු දරුවෝ සියල්ලෝම මවුපිය අඩිපාරේ යමින් විවිධ දක්ෂතා පෑහ. මුනුපුරු මිනිබිරියන්ගේ දරුවන් ද බලන්නට පිනැත්තියක වූ ඇය ජීවිතයේ මහා වෙහෙසකර ගමනක් පුරා, කිත් පැසසුම්, බුහුමන් ලබමින්, ගෙවා දැමුවාය. එළඹෙන 11 වැනිදා සිය ජීවිතයේ අනූවැනි වියට එළඹෙන හෙළ ගී රැජනට දිර්ඝායුෂ විඳින්නට ආශීර්වාද එක් කරමු.

චිරං ජයතු ගී රැජිනියනි!

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT