Home » රත්මලාන-බඩෝවිට ඇළක ජලය සම්පූර්ණයෙන් රතු පැහැ ගැන්වෙලා

රත්මලාන-බඩෝවිට ඇළක ජලය සම්පූර්ණයෙන් රතු පැහැ ගැන්වෙලා

කලබල වෙන්න එපා අපි සොයා බලනවා - මධ්‍යම පරිසර අධිකාරිය

by mahesh
November 8, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

රත්මලාන – බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් රතු පැහැ ගැන්වීම පිළිබඳ කලබලයට පත් නොවන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. පසුගිය 5 වැනි දින පෙරවරුවේ සිට මේ ඇළ මාර්ගයේ ජලය රතු පැහැවී තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය වෙත පසුගියදා (05) ලද තොරතුරකට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය විසින් එදිනම (05) මේ පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කර ඇත. වර්ණකයක් අදාළ ඇළ මාර්ගය වෙත මුදා හැරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ජලයේ වර්ණය මෙලෙස වෙනස් වී ඇති බව මේ ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේදී ම කළ හැකි පරීක්ෂණ අදාළ ස්ථානයේ දීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර ඇත. මේ වර්ණකය ජලයේ දියවන (ජල ද්‍රාව්‍ය) වර්ණකයක් වන බවත් පීච් (PH) අගය සහ පරාමිතීන්, පවතින පාරිසරික තත්ත්වයට අනුකූල වන බවත් ඉන් ඉහළ අගයන් නොපෙන්වන බවත් එම පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. තවද, වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ජල තත්ත්ව පසු විපරම් රසායනාගාර නිලධාරීන් විසින් ජල නියැදි ලබා ගත් අතර එම ජල නියැදි පරීක්ෂණයට යොමු කර ඇත. තවදුරටත් කළ සොයා බැලීම්වල දී අනාවරණ වී ඇත්තේ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මේ වර්ණකය අදාළ ඇළ මාර්ගය වෙත මුදා හැර ඇති බවයි. වෙළෙඳසලකින් ඉවත් කළ අදාළ වර්ණකයේ සැලකිය යුතු ප්‍රමාණයක් නි‍ෙවසට රැගෙන ගොස් ගබඩා කර තැබීමේ දී වර්ෂාවට හසුවීම නිසා එය මෙලෙස ඇළ මාර්ගයට මුදා හැර ඇති බවත් මෙතරම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවේයැයි තමා නොසිතූ බවත් එම වර්ණකය පරිසරයට මුදා හැරි පුද්ගලයා විසින් ප්‍රකාශ කර ඇත.

එම පුද්ගලයා දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

වර්ණකයක් හේතුවෙන් මේ ඇළ මාර්ගය රතු පැහැ වී ඇති බැවින් ඇළ මාර්ගය හා සබැඳි අනෙකුත් ජල මාර්ග වෙත ද වර්ණකය පැතිරීයෑම විය හැකි බවත්, එනිසා අනෙකුත් ජල මාර්ගවල ජලයේ ද පැහැයේ වෙනසක් ඇති විය හැකි බවත් මේ තත්ත්වය මත කලබලයට පත් නොවන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටී. අදාළ පරීක්ෂණවල දී ජල මාර්ගයේ මසුන් මිය යෑමක් නිරීක්ෂණය වී නැති අතර කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින් අදාළ ඇළ මාර්ගයේ ජලය දෛනික කටයුතු සඳහා භාවිත නොකරන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලයේ නිලධාරීහු, මධ්‍යම පරිසර අධිකාරියේ ජල තත්ත්ව පසුවිපරම් රසායනාගාරයේ නිලධාරීන්, දෙහිවල පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු මේ ක්ෂේත්‍ර පරීක්ෂණයට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT