(මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ නවවන ගුණ සමරුව අදට (08) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)
මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ජාතියට සමු දී අදට(08) වසර නවයක් සම්පූර්ණ වේ. උන්වහන්සේ අපවත් වූයේ 2015 නොවැම්බර් මස 08 වැනිදාය. ලෝකයේ බොහෝ රටවල් පවා විස්මයට පත් කරමින් ශ්‍රී ලංකාවේ මහජනතාව ලබාගත් ජයග්‍රහණයකින් පසු මාස දහයක් ඉක්මවීමටත් පෙර උන්වහන්සේගේ අපවත්වීම සිදුවිය.
අප ඒ බව සිහිපත් කරන්නේ කරුණු කීහිපයක් අවධාරණය කරමිනි. මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ දූරදර්ශීත්වය නොවූවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නොපැවතියේ නම්, උන්වහන්සේගේ අතිදැවැන්ත නායකත්වය මේ සමාජයට ලබා නොදුන්නේ නම් 2015 ජනවාරි මස 08 වැනි දින මේ රටේ ජනතාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය බොහෝ දුරට සිහිනයක් වන්නට ඉඩ තිබිණි. එදා ඒ ආකාරයට යුග පෙරළියක් සිදු නොවූයේ නම් අද වන විට ජනතාව ලබා ගනිමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදි ජයග්‍රහණ කිසිවක් අත්කර ගත නොහැකි ඒකාධිකාරි පාලන ව්‍යුහයක් රටේ ස්ථාපිතව පවතින්න ඉඩ තිබිණි. එය එසේ වූයේ නම් තනි පවුල් ආධිපත්‍යයකට සින්න වූ රටක්, ජාතික හා ආගමික වශයෙන් විභේදනය වූ සමාජයක් සහ චෞර සහචරවාදි කණ්ඩායමක සූරාකෑමට ලක් වෙමින් මේ රටේ ජනතාවට තවත් බොහෝ අමිහිරි වේදනා අත්විඳින්නට සිදු විය හැකිව තිබිණි. එවැනි තත්ත්වයක් තුළ රටක් ලෙස අද මේ සමාජය යම් හෝ බලාපොරොත්තු දල්වා ගනිමින් සිටින්නේ නම් ඒ සඳහා තීරණාත්මක පදනමක් වැටුණේ එදා උන්වහන්සේ ජාතියට ලබාදුන් නායකත්වය අනුදත් ජනතාව ලබාගත් එකී ජයග්‍රහණය හේතුවෙනි.
ඒ ජයග්‍රහණය මඟින් උන්වහන්සේ ද සමස්ත සමාජය ද අපේක්ෂා කළ ජාතික කාර්යභාර්යය ඒ ආකාරයටම අත්පත් කර දීමට එදා ජනතාවගේ කර මතින් බලයට පත් පාලනය දක්වන ලද පසුබෑම නැතහොත් නොදැක්ම හේතුවෙන් අන් සියල්ලටම පෙර ගිලන් වූයේ උන්වහන්සේය. දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් මේ රට ගිලන් වෙමින් පවතින බව බොහෝ දෙනෙකුට දැකගත හැකි වූයේ ඉන්පසුවය. අවසානයේ සමස්ත ජාතියම කම්පාවට පත්කරමින් උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වැනි දින තම මාතෘභූමියෙන් සමුගත්හ.
එහිදී අප අවධානය යොමු කළ යුත්තේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ, අපේක්ෂා කළ හා සිය ජීවිත කාලය පුරා මහත් වැර වෑයමින් ගොඩනඟා ගැනීමට මැදිහත් වූයේ කුමන ආකාරයේ ශ්‍රී ලංකාවක් ද යන්න පිළිබඳවය. එහෙත් එහිදී උන්වහන්සේ ඒ සියල්ල සඳහා මැදිහත් වූයේ බල දේශපාලනය තුළ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් නොවේ. ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්නේ නම් මාදුළුවාවේ සෝභිත නායක හිමියන් පක්ෂ දේශපාලනයේ නිමග්න වූ භික්ෂුන් වහන්සේ කෙනෙකු නොවීය. උන්වහන්සේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූවා පමණක් නොව භික්ෂුන් වහන්සේලා පක්ෂ දේශපාලනයට අවතීර්ණ වීම ද අනුමත නොකළෙහිය. ඒ බව වාදිභසිංහයාණෝ කෘතියට ලබාදුන් සාකච්ඡාවකදී ද සිය වචනයෙන් ම උන්වහන්සේ අවධාරණය කර ඇත. “මටත් කොළඹ දිස්ත්‍රික්ක තරග වදින්න ආරාධනා ලැබුණා. මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂුන් වහන්සේලා පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන එක. උන්වහන්සේ නිරත වූයේ එවැනි දේශපාලනයක මිස තමන්ට බලය ලබාගැනීම සඳහා හෝ අනෙකකුට බලය අහිමි කිරීම අරමුණු කරගත් දේශපාලනයක නොවේ. එහිදී උන්වහන්සේට රට වෙනුවෙන් වූ දර්ශනයක් තිබිණි. එකී දර්ශනය පදනම් වූයේ උන්වහන්සේ පෙන්වා දුන් දස වැදෑරුම් ප්‍රතිපත්ති මත ය. එයට අන්තර්ගතව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණය, නීතියේ ආධිපත්‍යය, ජාතික හා ආගමික සංහිඳියාව, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කර ඉහළ ගුණාත්මක ප්‍රතිඵල ලබාගැනීම මානව අයිතිවාසිකම් හා නිදහස සහතික කරගැනීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව, පරිසරයේ තිරසරභාවය වැනි කරුණු කාරණා සහතික කෙරෙන ශිෂ්ට සම්පන්න හා නීතිගරුක සමාජයක් නිර්මාණය කරගැනීමේ අධිෂ්ඨානයයි.
එකී අරමුණු ඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් උන්වහන්සේ ගොඩනැගූ ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වාදිය හැකිය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩනඟමින් හා ඊට සමාරම්භක නායකත්වය ලබාදීම මඟින් උන්වහන්සේ අපේක්ෂා කළේ, රටට යහපත් ආණ්ඩුක්‍රමයක් හා ඒ මගින් ජනතාවට වගකියන එමෙන්ම ජනතාව උදෙසා වන ආණ්ඩුකරණයක් නිර්මාණය කරගැනීමටය. එවැනි ආණ්ඩුක්‍රමයක ඒකාධිපති බලයක් නිර්මාණය කරන ජනාධිපති ක්‍රමයකට කිසිදු ඉඩක් නොමැති බව මෙන් ම 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කර ඇති විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන තුරු යහපත් ආණ්ඩුක්‍රමයක් හෝ ජනතාවට වගවන ආණ්ඩුකරණයක් බිහිකර ගත නොහැකි බව සියලු පාර්ශ්වයන්ට වටහා ගත හැකි ආකාරයට ප්‍රකාශ කළ ප්‍රමුඛතම චරිතය උන්වහන්සේය. උන්වහන්සේ ඒ බව රටට ප්‍රකාශ කළා පමණක් නොව ඒ වෙනුවෙන් එඩිතරව පෙනී සිටියහ. 2015 ආණ්ඩු පෙරළිය එහි ප්‍රතිඵලය විය. එහෙත් ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් කළ යුතුව පැවති වගකීම පිළිබඳව උන්වහන්සේගේ නිර්දේශය මත ජනතාව විශ්වාසය තබා බලය පවරා දුන් අය වෙතින් එය ඉටු වූයේද යන්න අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. රටක් ලෙස අප අත්විඳි බොහෝ ඛේදවාචකයන්ට තුඩු දුන් කරුණු කාරණා අදට ද යාවත්කාලීන වන්නේ එවැනි තීරණාත්මක වැරදි හා මඟහැරීම් නිසාම ය. අද වනවිට මේ රටේ සබුද්ධික බහුතර ජනතාව ඒ බව තේරුම් ගෙන සිටීම ඉතා වැදගත්ය. මේ රටේ ජනතාව අද වනවිට System Change නොහොත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ඒ සඳහා වන තම අපේක්ෂාව ද පෙනී සිටීම ද ඔවුන් විසින් ඉතා පැහැදිලි ලෙස මේ වන විටත් ප්‍රදර්ශනය කර තිබේ. ඒ අනුව මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන අවසන් මොහොතේ නිසැක ලෙස ම ප්‍රාර්ථනා කරන්නට ඇති ඒ යහපත් රට ගොඩනැඟීමට නම් එක් පුද්ගලයෙක් වෙත අත්තනෝමතික බලයකට ද ඉඩ කඩ විවර කරන සකල විධ බලය කේන්ද්‍රගත කර ඇති විධායක ජනාධිපති ක්‍රමය නොපමාවම වෙනස් කරගනිමින් යහපත් ආණ්ඩු ක්‍රමයක් වෙත සංක්‍රමණය වීම අප සියල්ලන්ගේම වගකීමක් වනු ඇත. ඒ සඳහා පෙනී සිටි බලවේගයක් රටේ රාජ්‍ය බලය අත්පත් කරගෙන ඇති පසුබිමක උන්වහන්සේගේ එකී ප්‍රාර්ථනය නොපමාවම ඉෂ්ට සිද්ධ වනු දැකීම අපගේද බලවත් අපේක්ෂාවයි. ඒ සඳහා මැදිහත් වන ලෙස මේ රටේ මහා සංඝරත්නය වෙත උන්වහන්සේ විසින් කරන ලද ඉල්ලීමක් උපුටා දක්වන්නේ එහි ඇති වැදගත්කම අප සියල්ලන්ම අවබෝධ කරගත යුතුව ඇති නිසාය.
“… මේ රටේ අපේ හාමුදුරුවරු එකතු වෙලා කළ යුතු මහා මෙහෙවරක් තියෙනවා. ඒක තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඇති. මේක තමයි විනාශයට මුල. මේකේ තියෙන ඡන්ද ක්‍රමය, මන්ත්‍රීවරු පත්කරන ක්‍රමය ඔක්කොම වැරදියි. ඒවායින් මේ රටට මහා විනාශයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යමයි.”
(මාදුළුවාවේ සෝභිත හිමි සිය 70 වැනි ජන්ම දිනය දා රට හමුවේ සිදු කරන ලද ප්‍රකාශයකි)
උන්වහන්සේගේ එම දැක්ම කොතරම් නිවැරදිදැයි වඩා හොඳින් අවබෝධ කරගත හැක්කේ එදාටත් වඩා අද දවසේ දී ය.
කරු ජයසූරිය
සභාපති, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය