Home » අදූෂිත අලුත් පිරිසකට විපක්ෂයේ බලය දෙන්න

අදූෂිත අලුත් පිරිසකට විපක්ෂයේ බලය දෙන්න

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකා ස්වන්ති වීරසේකර

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ප්‍රධාන ධාරාවෙන් පිටත තිබෙන ප්‍රධාන පෙළේ විකල්ප දේශපාලන පක්ෂයකින් තරග කිරීමට ඔබ තීරණය කළේ ඇයි?

ඇත්තෙන්ම අද ප්‍රධාන ධාරාවේ තිබෙන දේශපාලන පක්ෂවල ඇතුළත තත්ත්වය ඉතාමත් දූෂිතයි. එවැනි පක්ෂ සමඟ එකතු වෙලා දේශපාලන ගමනක් යෑමට අපහසුයි. ඇත්තෙන්ම අද ජනතාව පවා ප්‍රධාන පක්ෂ කියන සංකල්පය බැහැර කර අලුත් අදහස් සහිතව තමයි කටයුතු කරන්නේ. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වෙනවා අද රටේ ජන මතය කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ නිසා තමයි අප වගේ මධ්‍යම පන්තියේ දැන උගත් කාන්තාවකට දේශපාලනය කරන්න සුදුසුම දේශපාලන පක්ෂයක් විදිහට මෛත්‍රී ගුණරත්න මහතා නායකත්වය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණ කියන පක්ෂය තෝරාගත්තේ.

ඔබ දේශපාලනයට පිවිසෙන්නෙ කොයි කාලයේදීද?

මම දේශපාලනයට උනන්දු වුණේ බොහෝ කාලයක සිට. එහෙත් මම මුලින්ම දේශපාලනයට පිවිසුණේ දේශපාලන පක්ෂයක් නොවන දේශපාලන කණ්ඩායමකින්. ඒ කණ්ඩායම 1943 නිදහස් අධ්‍යාපනය නිසා බිහි වූ අය වෙනුවෙන් ඇති කළ සංවිධානයක්. එහි නායකත්වය දැරුවෙත් රටම දන්න හිටපු ඇමැතිවරයෙක්. ඒකට අප සම්බන්ධ වුණේ සාධාරණ විදිහට රටට යමක් කරන්න පුළුවන් වෙයි කියන අදහසෙන්. ඒත් අපට කටක් අරින්නවත් බැරි තැනක් බවට ඒ තැන පත් වුණා. ඇත්තෙන්ම නායකයකු නම් අන් අයගේ අදහස්වලටත් හොඳින් සවන් දෙන්න ඕනෑ. ඒ නිසා තමයි මම ඒ සංවිධානයෙන් ඉවත් වුණේ.

දැන් අප කටයුතු කරන පක්ෂයේ නායකත්වය සැමට සවන් දෙන නායකත්වයක්. එවැනි නායකයකුට තමයි හොඳ දේශපාලනයක් කිරීමට පුළුවන්කම ලැබෙන්නේ.

කාන්තා දේශපාලනය පිළිබඳව අද බොහෝ කතාබහ ඇතිව තිබෙනවා. ඇත්තෙන්ම කාන්තාවන්ට දේශපාලනය තුළ ලැබෙන ඉඩ ප්‍රමාණවත්ද කියලා සිතා බැලිය යුතුයි. පසුගිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් තිබුණා, ඒත් එය සුළු ප්‍රමාණයක්. අනෙක පත්ව සිටි කාන්තා මන්ත්‍රීවරියන් කවුරුවත් කාන්තා ගැටලු පිළිබඳව කතා කළේ නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා. මෙවර කාන්තා මන්ත්‍රීවරු පත් කරද්දි කාන්තා හඬට කන් දෙන කාන්ත හඬ නියෝජනය කරන පිරිසක් තෝරා පත් කර ගන්න කියලා.

මෙවර පාර්ලිමේන්තුවට පත් කරන මන්ත්‍රීවරු මොන වගේ පිරිසක් විය යුතුද යන්න ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි පැරැණි අදහස් තිබෙන දූෂිත මන්ත්‍රීවරු වෙනුවට අලුත් අදහස් තිබෙන දූෂිත නොව, හොරකම් නොකරන පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර එවන්න කියලා.

ඇත්තෙන්ම පසුගිය පාර්ලිමේන්තුව තුළ සිටි බොහෝ පිරිස් දූෂිතයන්, හොරුන් කියන ජනතා මතය නිවැරැදියි කියලා මාත් විශ්වාස කරනු ලබනවා. ඒ නිසා මෙවර අලුත් ආණ්ඩුවට දේශපාලනිකව මුහුණ දීමට අදූෂිත නව විපක්ෂයක් අවශ්‍ය කරනු ලබනවා. අන්න ඒ අදූෂිත හොඳ දේට සහාය දෙන ජනාධිපතිවරයා හොඳ දෙයක් කරනවා නම්, එයට සහාය දෙන වැරැදි දෙයක් කරනවා නම්, එයට විරුද්ධ වන සාම්ප්‍රදායික නොවන විපක්ෂයක් විදිහට තමයි අප ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ.

ඔබ කියන්නේ පාර්ලිමේන්තුවට අලුත් මුහුණු අවශ්‍ය බවද?

අනිවාර්යෙන්ම, අලුත් මුහුණු තමයි අනාගත දේශපාලනයට අවශ්‍ය වෙන්නේ. දැන් දේශපාලනය අලුත් වෙන්න ඕනෑ කියන අදහස තමයි රටේ පොදු මතය වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් විපක්ෂය විදිහට ඉදිරියට එන්න ඕනෑ එවැනි කණ්ඩායම්.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT