Thursday, May 8, 2025
Home » වියට්නාම සංචාරකයන් වැඩිපුර මෙරටට ගෙන්වීමට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

වියට්නාම සංචාරකයන් වැඩිපුර මෙරටට ගෙන්වීමට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පියවර

by mahesh
November 8, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

වියට්නාම සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධාන කිරීමට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ එක්ව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එරට ශ්‍රී ලංකා තානාපති නිල නිවෙසේ දී පවත්වා තිබෙන අතර වියට්නාම සංචාරක සංගමයේ (VITA) සහ වියට්නාම් සංචාරක නියෝජිත සංගමයේ (VISTA) සාමාජිකයන් ඇතුළුව මාධ්‍ය, සංචාරක නියෝජිතයන් සහ සංචාරක කර්මාන්තයේ නිරතවූවන් ඇතුළු විශාල පිරිසක් එක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා වියට්නාම වෙළෙඳපොළට ඇරයුම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳව විස්තර කර තිබෙන අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් සහ ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති ශාන්තිකුමාර් මහත්වරුන් විසින් වියට්නාම පරිවර්තන සහිත සංචාරක ප්‍රවර්ධන වීඩියෝ සහ පටිගත කරන ලද දත්ත මේ උත්සවයේ දී බෙදාදී තිබේ.

ඊට අමතරව මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළ වියට්නාම සංචාරකයන්ගේ අත්දැකීම් සම්බන්ධයෙන් ද මෙහිදී විස්තර කර තිබෙන අතර ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීම් කර තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලාංකීය ආහාරපානවලින් අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් අනතුරුව වැඩසටහන අවසන් වී ඇත.

මිලියන සියය ඉක්මවන ජනගහනයක් සහ නව සංචාරක ගමනාන්තයන් සොයන මැදි ආදායම් රටක් වන වියට්නාමය, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට හොඳ වෙළෙඳපොළක් වන බව ද ශ්‍රී ලංකාව වියට්නාම සංචාරකයන් අතර අපේක්ෂිත ගමනාන්තයක් බවට පත්වීමට ඇති හැකියාව අවධාරණය කරමින් පසුගිය වසරේ වියට්නාමයෙන් පිටතට යන සංචාරකයන් සංඛ්‍යාව මිලියන පහක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT