Sunday, May 11, 2025
Home » ජනමාධ්‍ය භෞතික වශයෙන් පුළුල් වුණත් හරයාත්මකව පුළුල් වූවාද යන්න ගැටලුවක්

ජනමාධ්‍ය භෞතික වශයෙන් පුළුල් වුණත් හරයාත්මකව පුළුල් වූවාද යන්න ගැටලුවක්

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියත්න

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ගම්පහ අතිරේක

ජනමාධ්‍ය කෙරෙහි පැවති විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී තිබෙන බවත්, භෞතික වශයෙන් මාධ්‍ය පුළුල් වුවද හරයාත්මක ලෙස වටිනාකම් සහිතව පුළුල් වූවාද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියත්න මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මානව හිතවාදි ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් උදෙසා පාසල් ජනමාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කරන ටෙලිවිෂන් ඉස්කෝලේ අධ්‍යාපන සත්කාරක වැඩසටහනෙහි සමාරම්භය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදී ඊයේ (7) පැවති අවස්ථාවේදීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේක වැඩසටහන පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළේය:

“අප කුඩා කාලේ තිබුණේ සීමිත මාධ්‍ය ක්ෂේත්‍රයක්. ගුවන්විදුලිය හා පුවත්පත් පමණයි. එහෙත් අද වන විට මාධ්‍ය විශාල වශයෙන් පුළුල් වී තිබෙනවා. මාධ්‍ය භෞතික වශයෙන් පුළුල් වුණාට අපට තිබෙන ප්‍රශ්නය මේ මාධ්‍ය හරයාත්මක ලෙස වටිනාකම් සහිතව පුළුල් වුණාද යන්නයි. ඒ නිසා මාධ්‍ය භාවිතය සමාජ ප්‍රගමනයට වඩා සමාජ අවගමනයට තමයි බද්ධ වී තිබෙන්නේ. මෙනිසා පරිපාලකයන් ලෙස අපට මාධ්‍ය නිසි මඟට යොමු කිරීමට වගකීමක් පැවරෙනවා. නිසි මඟට යොමු කිරීමේදී දැනට සිටින මාධ්‍යවේදීන් සමඟ සංවාදයක් ගොඩනඟාගන්නා ගමන්ම, පාසල් සිසුන් වැනි අංකුර මාධ්‍යවේදීන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ වගකීම පිළිබඳ, මාධ්‍ය හැසිරවීම පිළිබඳ, මාධ්‍යයට කළ හැකි කාර්යයන් පිළිබඳ මාධ්‍ය කොයි තරම් දුරට රටක පැවැත්ම උදෙසා ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් දීමේ වගකීමක් තිබෙනවා.

“මේ අනුව අපත් සමඟ කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව , ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වී, අඳුර‍ට සාප කරනවාට වඩා පහන් දැල්වීමට පටන් ගෙන තිබෙනවා. එහි පළමු පියවර මෙලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් මේ සම්මන්ත්‍රණය ආරම්භ කළේ ලොකු අනාගත බලාපොරොත්තුවක් සහිතව. ඉදිරියේදී මෙය සෙසු පාසල්වල දරුදැරියන්ට යහපත් මාධ්‍ය භාවිතයක් සඳහා පසුබිම නිර්මාණය කරනවා.”

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාද් හඳුන්පතිරණ මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි සංජීවනී ඈපා, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අජිතා ප්‍රියංගනී, රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි වසන්තා කුමාරි, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියන්ති නානායක්කාර මහත්මීන් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

වැඩමුළුවට සහභාගි වූ සිසු සිසුවියන්ට සහභාගිත්ව සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT