Home » ශ්‍රීලනිපය-එජාපය සුගතදාස ගෘහස්ථයට ලක්ෂ 24ක් ගෙවා නෑ

ශ්‍රීලනිපය-එජාපය සුගතදාස ගෘහස්ථයට ලක්ෂ 24ක් ගෙවා නෑ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය විසින් 2019 වසරේ සිට 2023 දක්වා කාලයේ දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන් කර ගෙන විවිධ දේශපාලන වැඩසටහන් පැවැත්වුවද ඊට අය විය යුතු මුදල් මේ දක්වා ගෙවා නැතැයි සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණ අධිකාරිය පවසයි.

මෙම පක්ෂ දෙකට අමතරව තවත් රූපවාහිනී නාළිකාවක් මඟින්ද රියැලිටි වැඩසටහනක් සඳහා ක්‍රීඩාංගණය වෙන් කර ගෙන තිබුණද ඊට මුදල් මේ වන තෙක් ගෙවා නැත. එම උත්සව වෙනුවෙන් ගෙවිය යුතු ලක්ෂ විසිහතරක මුදලක් අය විය යුතුව ඇතැයිද සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පවසයි.

2019 වසරේ සැප්තැම්බර් 03 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සැමරුම වෙනුවෙන් ක්‍රීඩාංගණය, පක්ෂයේ ලේකම්වරයා ලෙස සිටි දයාසිරි ජයසේකර මහතාගේ නමින් වෙන් කරගෙන ඇත. දයාසිරි ජයසේකර මහතාගේ නමින් එම ක්‍රීඩාංගණය වෙන් කළද ඒ වෙනුවෙන් ගෙවිය යුතු එකොළස් ලක්ෂ හතළිස් අටදහස් හයසිය තිස්දෙකක මුදල (1, 148, 632.24) මෙතෙක් ගෙවා නොමැති බව ක්‍රීඩාංගණ පාලනාධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සේවා නියුක්තිකයන්ගේ සමුළුව 2019 වසරේ ඔක්තෝබර් 04 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වා ඇත. මේ වෙනුවෙන් අදාළ ක්‍රීඩාංගණය ප්‍රධාන විධායක නිලධාරි කමල් සෙනරත් මහතා විසින් වෙන් කරගෙන ඇති අතර, ඒ වෙනුවෙන් ගෙවිය යුතු හයලක්ෂ හතළිස් දෙදහස් දෙසියදාහතක මුදලක් (642, 217.50) මේ වනතෙක් ගෙවා නොමැත.

එමෙන්ම එක්තරා රූපවාහිනී නාළිකාවක් විසින් සංවිධාන කරන ලද රියැලිටි ප්‍රසංගයක් 2023 වසරේ නොවැම්බර් 01 වැනිදා පවත්වා ඇත. එම ප්‍රසංගය වෙනුවෙන් අදාළ රූපවාහිනී නාළිකාව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පාලනාධිකාරිය වෙත රුපියල් හයලක්ෂ දාහතදහස් අටසිය හැටඑකක මුදලක් (614, 861.20) ගෙවිය යුතු වේ. එම මුදලද මෙතෙක් ගෙවා නොමැති අතර අදාළ රූපවාහිනී නාළිකාව විසින් එම මුදල ගෙවීමට එකඟ වී ඇති බව ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT