Saturday, May 3, 2025
Home » ලියාපදිංචි නොකළ අලි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

ලියාපදිංචි නොකළ අලි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබාගැනීමට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන එම නඩුවට අදාළ ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගනු ලැබූ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණ සේප්පුවේ තබාගන්නා ලෙස ද නියම කෙරිණ.

අදාළ නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී ඇති නියෝග අත්හිටුවන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලදි.

එසේම මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් ගැනීම හෝ නියෝග ලබාදීම නොකරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කෙරිණ. අදාළ නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර නොගන්නා ලෙස එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියම කරන ලදි. ලියාපදිංචි නොකළ අලි ඇතුන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලබා දී තිබීය දී ඒ පිළිබඳ කරුණු දැක්වීමකින් තොරව එම නියෝගවලට පටහැණිව යමින් අලි ඇතුන් එහි අයිතිකරුවන්ට මුදාහැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බවට පැමිණිලි කරමින් ගොනු කර ඇති මෝසමක් කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගයන් නිකුත් කරන ලදි.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනුව පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම අතුරු නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විසින් ලබා දී ඇති තීන්දුව අත්හිටුවන අතුරු නියෝගයක් ආභියාචනාධිකරණය විසින් එම නඩුවට අදාළව ලබා දී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව එම අලි ඇතුන් මුල් එහි අයිතිකරුවන්ට මුදා හැරීමට ගෙන තිබූ කැබිනට් මණ්ඩල තීන්දුව අත්හිටුවන අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එසේ සිටිය දී අලි ඇතුන්ගේ හිමිකරුවන් බව පවසන පාර්ශ්වයන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අදාළ අලි ඇතුන් නිදහස් කර ගැනීමට ඉල්ලීම් කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් ඉකුත් ඔක්තෝබර් මස 23 වැනිදා සහ 30 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කිහිපයක් ලබා දී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව කටයුතු නොකිරීමට එරෙහිව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුකරයක් පවත්වාගෙන යාම සඳහා කැඳවීම් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉහළ අධිකරණවල ලබා දී ඇති නඩු තීන්දු නියෝගය සම්බන්ධයෙන් තැකීමක් නොකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එකී නඩුව සම්බන්ධයෙන් ඉල්ලීම් කිරීමට පාර්ශ්වයන් කටයුතු කර ඇති බවට පැමිණිලි කළ ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවට අදාළව ලබා දී ඇති නියෝග අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටර්වරිය සහ අදාළ නඩු ගොනුව හමුවට කැඳවීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

අනතුරුව කැඳවන ලද එම නඩු ගොනුව පරික්ෂා කිරීමෙන් පසුව සහ ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කරුණු සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතුරු තහනම් නියෝග කිහිපයක් නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට අදාළ නියෝගයන් පැහැදිලි කරදුන් විනිසුරු මඬුල්ල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ තීන්දුවක් ලබා දෙන තෙක් මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙස නියෝග කළේය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම නොවැම්බර් මස 18 වැනිදා සිදු කිරීමට නියම කෙරිණි.

ස්වාභාවික හා සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සත්ත්වයන් උදෙසා යුක්තිය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම සහ ඊට අදාළ මෝසම ගොනු කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස කැබිනට් මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT