Home » කාලගුණ විද්‍යාඥයන් 10ක හිඟයක්

කාලගුණ විද්‍යාඥයන් 10ක හිඟයක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කාලගුණ විද්‍යාඥයන් 10කගේ හිඟයක් පවතින බව අනාවරණය වෙයි.මේ බව අනාවරණය වූයේ ඊයේ(07) කොළඹ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවැති කාලගුණ තොරතුරු පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.

ක්ෂණික වර්ෂාපතන පිළිබඳව දත්ත ලබාගැනීමට අවශ්‍ය වන ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් පුත්තලම ප්‍රදේශයේ සවිකිරීමට වැඩ මේ දෙසැම්බර් මාසයේ ආරම්භ කරන බවත් මෙහිදී සඳහන් විය.එම යන්ත්‍රය සවි කළ පසු මි.මී 300-400 වැසි පිළිබඳව පැය එකහමාරකට දෙකකට පෙර දැනුවත් විය හැකියැයිද පැවසේ.එමගින් ඇතිවිය හැකි ආර්ථික හා ජීවිත හානි වලක්වා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ හැකි බවත්,ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බව ද තවත් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් පොතුවිල්වල ස්ථාපිත කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කීය.

උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාවය ආදී කාලගුණ තොරතුරු අනාවරණය කරගත හැකි රේඩියෝෂොන් බැලූන් සඳහා වැඩි මුදලක් වැය වුවත් එමගින් ලබාගත හැකි වඩා ගැඹුරු කාලගුණ දත්ත හොඳ ආර්ථික වාසියක් බවද මෙහිදී ප්‍රකාශ විය. එය නියමාකාරයෙන් යැවිය යුතු යයිද පැවසිණ. කාලගුණ විද්‍යාඥයින්ගේ හිඟය පියවීම සඳහා අදාළ පාර්ශවයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් රේඩියෝෂොන් බැලූන් එකක් නිරීක්ෂණය සඳහා අහසට යැව්වොත් ඒ සඳහා රුපියල් 50000ක පමණ මුදලක් වරකට වැයවෙන බවත් මෙවැනි බැලූන් දෙකක් දිනකට යැවිය යුතු බවත් මෙම හමුවේදී තවදුරටත් තොරතුරු හෙළිවිය. මේ වනවිට මෙම බැලූන් තුනක් පමණක් සතියකට අහසට යවන බවද අනාවරණය විය.

‘ ක්ෂණික ගංවතුර තත්ත්වයන් සම්බන්ධ අනාවැකි පිළිබඳව කතා කිරීමේදී අපට ගොන්ගල කන්දේ අවුරු 17කට කලින් සිදුකළ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් සවිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව චෝදනා එල්ල කරනවා. එය අසාර්ථක ව්‍යාපෘතියක්. එයට සම්බන්ධ නිලධාරීන් විශ්‍රාමිකයි. ඇතැමුන් ජීවතුන් අතරත් නැහැ. එම ව්‍යාපෘතිය නිසා ආර්ථික හානියක් සිදුවී තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංගමයට එය ලබාගැනීමට අවශ්‍ය රුපියල් මිලියන 320ක අරමුදල් යවා තිබෙනවා. මම අධ්‍යක්ෂ ජනරාල් වූ පසු ඒ පිළිබඳව සොයා බැලුවා. ලෝක කාලගුණ විද්‍යා සංගයේ නිලධාරීන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒ තැන්පතුවේ තිබෙන ඉතිරි මුදල් ටික ලබා ගන්න සැළසුම් කළා. අපට හිමිවුණා රුපියල් මිලියන 323ක්. ඇයි එතරම් මුදලක් ලබාගත හැකි වූයේ. එකක් තමා පොලිය. අනෙක ඩොලරයේ අගය ඉහළ යාම. එම මුදල් භාණ්ඩාගාරයට යැව්වා. ‘ යයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන විද්‍යාඥයින් සංඛ්‍යාව 28කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT