ශ්‍රී ලංකාවේ තේ ලොව පුරා කීර්තිය දිනූ සන්නාමයකි. මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලැබුණේ ද තේ කර්මාන්තයෙනි. ලංකාවේ ‘තේ දල්ලක මිහිර’ ගැන ලෝකයා බොහෝ දේ දනිති. කතා කරති. එය ගත ප්‍රාණවත් කරයි. සිත පුබුදවයි. එහෙත් එය නිපද වෙන්නේ වහලුන්ට සමානව බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට ගෙනා වතු කම්කරු ජනතාවගෙනි. ලොවට ප්‍රණීත තේ දල්ලේ සැඟවුණු කතාවේ තේ දල්ලක මිහිර නැත. එය බෙහෙවින්ම වේදනාකාරීය.
මේ ගමන ඇරඹෙන්නේ මීට වසර 200කට පමණ පෙර බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. ඉංග්රීසින්ගේ වතුවල වැඩ කිරීමට සිංහලයෝ කැමැති වූයේ නැත. එයට විකල්පය වූයේ දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන ඒමය. ඒ වනවිට ඉන්දියාවේ ඇතිවූ ආර්ථික හා සාමාජීය සහ පාරිසරික තත්ත්වය හේතු වන්නට ඇත. අද බංග්ලාදේශය ලෙස හඳුන්වන එදා ඉන්දියාවට අයත්ව තිබූ ප්‍රදේශයෙන් ආරම්භවූ දරුණු නියඟයක් නිසා විශාල පිරිසකට සාගතයෙන් පීඩා විදිමට සිදුවිය. කම්කරුවන්ට රැකියා අහිමි විය. මෙකල ඉන්දියාව හා සැසදීමේදී ලංකාව සවුසිරියෙන් පිරි දේශයක් ලෙස ඉන්දියානුවන් විසින් සලකා තිබිණි. එක් ජනප්‍රිය කතාවකට අනුව ලංකාවේ තේ ගස් යට උම්බලකඩ, පොල් ආදිය පවා තිබෙන බවට ඉන්දියානුවන් තුළ විශ්වාසයක් ගොඩ නැඟී තිබී ඇත.
ආර්ථික ප්‍රශ්න හමුවේ විවිධ රැවටීම් ඔස්සේ ලංකාවට ඉන්දියානු කම්කරුවෝ විශාල ප්‍රමාණයක් ගෙන්වීය. 1911 ජන ලේඛනයට අනුව ඉන්දියානු දෙමළ 530,983ක් ද වූහ. 1931 වන විට මේ සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවීය. මේ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් යොමු කෙරුණේ වතු වගාවට ය. කෙසේ වෙතත් ඉන්දියානු වතුකම්කරුවන් පූර්ණ මනුෂ්‍යයන් කොටසක් ලෙස පිළිගැනුණු බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ සේවය අර්ධ වහල් සේවයක් ලෙස සැලකිණි. එක් අතකින් පන්ති විෂමතාවද අනෙක් අතින් ඔවුන් වාර්ගික විෂමතාවේ ද ගොදුරු බවට පත්වූහ.
ශ්‍රමය සූරා කෑම මෙහි දරුණු ලෙස සිදුවිය. ඔවුන් පළමුව කන්කානිවරුන්ගේ ගොදුරක් බවට පත්විය.
වතු අයිතිකරුවන් මුල්ම කාලයේදී දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන්වා ගත්තේ කන්කානිවරු මාර්ගයෙනි. මෙලෙස ඉන්දියානු කම්කරුවන් ලබාගන්නා වතුකාරයා ඒ වෙනුවෙන් කන්කානිට මුදලක් ගෙවන ලැබීය. තවද වත්තේ වැඩ සඳහා උදෑසන පෙරට්ටුවට පැමිණි සෑම කම්කරුවකු වෙනුවෙන් දෛනික ප්‍රසාද දීමනාවක් ද කන්කානි ලැබුවේය. එමෙන්ම කන්කානිට තවත් කාර්ය ගණනාවක් මුල් කාලයේදී පැවැරී තිබිණි. කම්කරුවන්ට සහල් නිකුත් කිරීම, පවුල් ආරවුල් විසඳීම, ඇතැම් විට කඩයක් කරගෙන යෑම මේ අතර විය. එය කඩයක් නොව කළුකඩයකි. එහි ගැනුම්කරුවන් වූයේද කම්කරුවන්ය. හිමිදිරියේ සිට දළු නෙලීමෙන් ගත් මුදල යොදා කන්කානිගේ කඩයෙන් නිවෙසට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවේ. එසේ නොවුන හොත් තවත් ගැටුමකට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම රා කසිප්පු තිප්පොළක් ද වතුවල විය. දවසම වෙහෙස වී වැඩ කරන වතු සේවකයාගේ වැටුප හෝ කොටසක්වත් මෙතැනට යොමුවිය. ඇතැම් විට ණය විය.
සාමාන්‍යයෙන් වතුහිමියන් කම්කරුවන්ගේ වැටුප් ලබා දුන්නේ ඔවුන් වතු රැකියාව සඳහා රැගෙන ආ කන්කානිලා අතට ය. කම්කරුවන් වෙනුවෙන් කන්කානිවරුන් වියදම් කරනු ලැබූ මුදල් පියවාගෙන කම්කරුවන් වෙත අවසානයේ හැමවිටම ලබා දෙන ලද්දේ සොච්චමකි. ණය මුදල් පියවීමෙන් පසු කම්කරුවන්හට කිසිදු මුදලක් ඉතිරි නොවීම බොහෝවිට පැවැති යථාර්ථය විය. ඉක්බිති, නැවත වැටුප් ලැබෙන තෙක් ඔවුහු කන්කානිලාගෙන් මුදල් ණයට ලබා ගනිති. යම් කම්කරු පවුලක ස්වාමියා මිය ගියහොත් බිරිඳ විසින් එම ණය පියවිය යුතුය. ඒ දෙදෙනාම මියගියහොත් එම පවුලේ දරුවන් විසින් එම ණය පියවීම අනිවාර්යව තිබිණ. පවුලේ කිසිවෙකුත් නැත්නම් ණය මුදල් පියවීමේ වගකීම් පැවරෙන්නේ ඔවුන් සමඟ ලංකාවට පැමිණි කණ්ඩායමේ අවශේෂ පුද්ගලයන්ට ය.
මෙලෙස නූගත් වතු කම්කරුවන් සදාකාලික ණයකරුවන් බවට පත්කර ගැනීමට කංකානම්වරු සමත්ව සිටියහ. ඒ අනුව ඔවුන් ඉපදුණේ ණය ගැතිවය. ජීවත් වූයේද ණය ගැතිවය. මරු වැලද ගත්තේද ණය ගැතිවය. මේ නින්දිත තත්ත්වයෙන් වතු කම්කරුවන් ගලවා ගැනීමට ඉන්දියාවද ඉතිහාසයේ සිටම විවිධ උත්සාහයන් දැරීය. තිහේ දශකයේදී ජවහල්ලාල් නේරු ලංකාවට පැමිණියේය. ඒ අවස්ථාවේදී වතුකරයේ ඉන්දීය සම්භවයක් තිබුණු වතු කම්කරු නායකයන් මුණගැසිණි. ඒ වනවිටත් ලංකාවේ වතුකම්කරුවන් සම්බන්ධයෙන් වතු කම්කරු නායකයන් සහ ඉන්දීය කොංග්රස් නායකයන් අතර කතාබහක් තිබිණි. එහිදී නේරු දුන් උපදෙස්වලට අනුව වතුකරය ආශ්‍රිතව ලංකා ඉන්දියානු කොංග්‍රසය 1939 දී ගොඩනැගීමට කටයුතු කෙරිණි. එදා ගොඩනැගුණු නව පක්ෂයේ වෘත්තීය සමිතිය බවට පත්වුණේ ලංකා කම්කරු කොංග්රසයයි
සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ පැවැති පළමු මැතිවරණයේදීද ලංකා ඉන්දියානු කොංග්‍රසය ඉදිරිපත් විය. ඔවුන් සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ඇතුළු අපේක්ෂකයන් හත් දෙනකුට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිණි. ඔවුන් ඉදිරිපත් වූ ආසන හතේම ඉන්දීය ද්‍රවිඩ ජනතාව ජීවත් වීම ද විශේෂයකි. මෙහිදී ඉන්දීය ද්‍රවිඩ සම්බවයක් සහිත වතුකම්කරුවන්ගේ පළමු තේරීම ලංකා ඉන්දියානු කොංග්‍රසය වන විට දෙවැනි තේරීම වූයේ ලංකා සමසමාජ පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයට මේ තත්ත්වය තර්ජනයක් ලෙස සැලකිණි. ඒ අනුව ඔවුන් 1948 ලංකා පුරවැසි පනතත්, 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතත් ඉදිරිපත් කරමින් ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසකගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමට කටයුතු කළේය.
එතැන් පටන් එම පක්ෂයේ අපේක්ෂකයකුට මැතිවරණයෙන් ජය ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. 1960දී සෞම්‍යමුර්ති තොණ්ඩමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය පළ කිරීමට තීරණය කළේය. ඒ අනුව ඔහුට පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකිවිය. නැවැතත් 1965 දී එජාපයට සහය දෙන තොණ්ඩමන් පාර්ලිමේන්තුවට පැමිණීමට සමත් වේ. 1977 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු බවට පත්වීමට හැකියාව ලැබූ ඔහූ ඉන් පසු රජන් තනන්නාගේ භූමිකාව නිරූපණය කරන්නට විය.
1999 වසරේ දී සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ අභාවය සිදුවිය. ඒ සමගම ඔහුගේ මුනුබුරු ආරුමුගම් තොණ්ඩමාන් පක්ෂයේ නායකත්වය පත්විය. ඒ සමඟම වතුකරයේ තවත් දේශපාලන නායකයෝ මතුවූහ. කඳුරට ජනතා පෙරමුණේ පෙරියසාමි චන්ද්‍රසේකරන්, කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන්, ජීවන් තොණ්ඩමන් ඒ අතර වූහ.
දේශපාලන නායකත්වය මෙසේ වෙනස් වුවද ජන ජීවිතයේ වෙනස්කම් සිදුවුයේ අඩු වශයෙනි. විශේෂයෙන්ම සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගෙන් ආරම්භ වී ඔහුගේම කාලයේ එහි උච්ච ස්ථානයක පැවැති වතු කම්කරුවන්ගේ නැඟිම අද වනවිට ද වෙනස්ව පවතින්නෙ අවම මට්ටමේය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළම විදේශ විනිමය උපයන ක්ෂේත්රය ලෙසත් ඉහළම කාන්තා සේවා නියුක්තිය පවතින ක්ෂේත්රය ලෙසත් හැදින්වෙනුයේ තේ කර්මාන්තය ය. එමෙන්ම දරිද්‍රතාවෙන් උපරිමයටම පීඩාවට පත්ව සිටින ප්‍රජාව ලෙස සැලකෙන්නේ ද මේ කර්මාන්තයට සෘජුවම දායකවන වතුකරයේ ජනතාවය. මේ දෙමළ ප්‍රජාව මෙරටට පැමිණි දවසේ සිට මෙරට ආර්ථික වර්ධනයට ලබා දෙන්නේ අමිල මෙහෙයකි. එහෙත් තේ දළු නෙළන, ගස් කප්පාදු කරන, පොහොර දමන සියලු නිෂ්පාදන ක්‍රියාවලියක නියැළෙන දෙමළ ප්‍රජාවගේ ජීවන තත්ත්වය පවතින්නේ තවමත් පහත් තත්ත්වයකි.
සංවර්ධන දර්ශක අනුව මෙම ප්‍රජාව ලංකාවේ අනෙක් ජනකොටස්වලට සාපේක්ෂව සිටින්නේ බොහෝ පිටුපසිනි. රටේ අඩුම වැටුප ලබන්නේ ඔවුන් ය. ආදායම පවතින්නෙ පහළ මට්ටමේය.
වතු කම්කරුවන් ජීවත් වන නිවාස 1920 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක් යටතේ ඉදි කරන ලද ඒවාය. තවමත් එම ගොඩනැගිලි වැඩි වෙනස්කම්වලට භාජනය වී නොමැත. කම්කරුවන් තම දරුවන් ඇතිදැඩි කරනු ලබන්නේ ‘බැරැක්ක’ මාදිලියේ එම ලයින් කාමරවලය. බොහෝ ලයින් කාමරවලට විදුලිය සහ නළ ජල සැපයුම ලැබෙන්නේ දවසට පැය කීපයක් පමණි. සමහර කම්කරුවන්ට මේ පහසුකමවත් නැත. අයිතිවාසිකම් නැත. බොහෝ නිවෙස්වලට තැපැල් ලිපිනයක් වත් නැත. සනීපාරක්ෂාව පවතින්නේ ද අවම මට්ටමකය.
ඊළඟ ගැටලුව ලිංග භේදයයි. එහිදී පිරිමියකු වඩා කාන්තාවට හිමිවන වැටුප පහත මට්ටමක පවතී. හදිසි අසනීප තත්ත්වයකදී දිනක නිවාඩුවක් ලබා ගැනීමද ගැටලුවකි. තේ දළු නෙළන කාන්තාවන්ට රැකියාවට අමතරව ගෙදර දොර වැඩකටයුතු මෙන්ම තම දරුවන්ගේ වැඩකටයුතු ද කළ යුතු වේ. ඔවුන්ගේ පාසල් යන දරුවන්ට බොහෝ විට කිලෝමීටර් ගණනාවක් පා ගමනින් යෑමට සිදු වේ. මේනිසා කාන්තවන්ගේ සහ ළමයින්ගේ ජීවන තත්ත්වය පවතින්නේ බොහෝ පහළ තත්ත්වයකය.
මේ නිසාම අද බොහෝ කාන්තාවන් ගෘහ සේවයට යොමුවේ. ගෘහ සේවයට යෙදුනද ඔවුන්ට අවශ්‍ය නෛතික සුරක්ෂිත භාවය නොමැත. මේ නිසා ඉතා අනාරක්ෂිත සිදුවිම් වලට මුහුණ දිමට දේශීයව හා ජාත්‍යන්තරව ඔවුනට සිදුවිය.
මේ සියලු කාරණා සමඟම අදටත් ඔවුනට ජීවත්වීමට සාධාරණ දෛනික වැටුපක් ලැබෙන්නේ නැත. මේ සම්බන්ධයෙන් සෑම රජයක්ම ඔවුන්ව හොඳහැටි රැවටීමට භාජනය කළේය. මිනිසකු ලෙස ලැබිය යුතු මූලික අයිතිවාසිකම් පවා නොලැබෙන මේ ජනකොට්ඨාසයට මෙවර ඔවුන්ගේම නියෝජිතයන පාර්ලිමේන්තුවට යැවීමට අවස්ථාව උදාවී තිබේ. ගැටලුව තිබෙන්නේ ඔවුන්ගේම ආකල්ප පොහොසත් නොවීමය. නව නායකයන් පත්කර ගැනීමේ අවශ්‍යතාව, කාන්තාවක් පාර්ලිමේන්තු යැවීම වැනි කරුණු ගැන ඔවුන් දකින මේ ආකල්පය දියුණු නොවන බව පෙනේ. එම නිසා සියවස් දෙකක්ම තමන් විදි දුකෙන් ගැලවීමේ මාර්ගය උදාකර ගැනීමට කටයුතු කළ යුතුය. ආර්ථිකය, සමාජ තත්ත්වය, අධ්‍යාපනය වැනි සියලු දේ ගොඩ නගාගැනීමට සම්ප්රදායක චින්තනයෙන් ගැලවීමට මේ මැතිවරණය ඔවුන් අවස්ථාවක් ලෙස සලකා කටයුතු කළ යුතුව ඇත.
මලික් චමින්ද ධර්මවර්ධන