Home » කාන්තා දේශපාලනයේ පෙරට යාමට හොඳම මඟ

කාන්තා දේශපාලනයේ පෙරට යාමට හොඳම මඟ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ප්‍රථම අගමැතිනිය සහ ප්‍රථම විධායක ජනාධිපතිවරිය බිහි වූ රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක දේශපාලන ඉතිහාසයට එක්විය. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ තෙවැනි අග්‍රාමාත්‍යවරිය ද පත්වූවා ය. එසේ වුව ද දකුණු ආසියාතික කලාපයේ දේශපාලනයෙහි අවම කාන්තා නියෝජනයක් සහිත රට වන්නේ ශ්‍රී ලංකාවය. මැතිසබයේ කාන්තා සහභාගිත්වයේ උපරිම අගය වාර්තා වන්නේ 1977 වර්ෂයේ මැතිවරණයෙන් පසුව වන අතර, එය එවක පාර්ලිමේන්තුව හෙබවූ මන්ත්‍රී ධුර 168න් ආසන 11ක අගයකි. ප්‍රතිශතයක් වශයෙන් එය 6.5% ක් විය. වර්තමානය වනවිට ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් ගණන 13 කි. මෙය 225ක් වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාවෙන් 5.8% ක ප්‍රතිශතයකි. 2004 සිට 2020 දක්වාම මෙම අගය වෙනස් වී නොමැත.

2023 වර්ෂය වන විට රටේ සමස්ත ජනගහනයෙන් 51.86% ක වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වූ අතර, වර්තමානයේ දී රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ද සැලකිය යුතු දායකත්වයක් දක්වන්නට කාන්තාවට හැකිවී තිබේ. විශේෂයෙන්, සියලු වෘත්තීන්හිම පාහේ කාන්තාව කැපී පෙනෙන දක්ෂතා දක්වන බව ප්‍රකට කාරණයකි. රටේ ආර්ථික හා සමාජීය උන්නතිය උදෙසා ඉමහත් දායකත්වයක් දක්වන කාන්තාව විසින් මනුෂ්‍ය ප්‍රජාවගේ පැවැත්ම උදෙසා උත්තරීතර කාර්යභාරයක් ඉටුකරනු බලන බව ද අවිවාදපන්න ය. දරුවන් බිහිකිරීම, පෝෂණය කිරීම මෙන්ම, ගුණ යහපත් අන්දමින් සමාජයට මුදාහැරීමේ ගෞරවනීය වගකීම දරන්නී ද ඇයයි.

ලංකා සංස්කෘතියේ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය තීරණය වීම කෙරෙහි බෙහෙවින් බලපා ඇත්තේ ඉන්දියානු මතවාදය. අතීත භාරතයේ බ්‍රාහ්මණ ආකල්ප අනුව කාන්තාව යනු ගෘහවාසය සහ කුටුම්භ සංරක්ෂණය කෙරෙහි වෙන්වූ මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සැලකීය. අධ්‍යාපනය, රාජ්‍ය පාලනය මෙන්ම, ආගම හා දර්ශනය වැනි විෂය ක්ෂේත්‍රයන්හි නියැළීම ඇයට තහනම් විය. අතීතයේ පටන්ම ලංකා සමාජයේ ස්ත්‍රී භූමිකාව ද මෙයින් බොහෝසෙයින් වෙනස් නොවූ බව නොපෙනේ. නමුත්, දියණියක්, බිරියක්, මවක් සහ සොහොයුරියක් වශයෙන් ඇයට පවුල් පසුබිම තුළ වැදගත්කමක් හිමි වූවාය.

බුදුදහමින් පෝෂණය වූ අතීත ලංකා සමාජයේ කාන්තාවගේ තත්ත්වය අතීත භාරතයට සාපේක්ෂව සහනශීලී වුව ද, අධ්‍යාපනය, වෘත්තීන්හි නියැළීම මෙන් ම දේශපාලනය උදෙසා කාන්තාවගේ මැදිහත්කරණය දක්නට හැකි වන්නේ අල්ප වශයෙනි. එබඳු ස්වල්ප හෝ දායකත්වයක් දක්වන්නට හැකි වූයේ නම් රදළ පවුල්වල කාන්තාවන්ට පමණක් වීම සුවිශේෂ ය. රජවරු 175කට අධික ප්‍රමාණයක් සිටින ලංකා රාජාවලියේ රැජිනියන් සිට ඇත්තේ තිදෙනෙකි. ඒ ද ඉතා සුළු කාලපරිච්ඡේද සඳහා පමණි.

වැඩවසම් ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ලංකාවේ රාජ්‍ය පාලන ක්‍රමය බිඳවැටීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී ය. රදළ පාලනයෙන් මිදුණු ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ද ලක්දිව කාන්තාවට ඡන්ද අයිතිය ලබා ගැනීමට නොහැකි වූ අන්දමට අණපනත් සකස්ව තිබුණු ආකාරය දේශපාලන ඉතිහාසය පිරික්සීමෙන් පැහැදිලි වේ. 1910 අංක 13 දරන ආඥාවෙන් ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් නොකිරීමට හේතුවක් ලෙස ‘කාන්තාවක් වීම’ අවධාරණය කොට ඇත.

1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වූවත් බොහෝ පිරිස් කාන්තාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා එල්ල කොට ඇත. නිදසුනක් ලෙස එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ පොන්නම්බලම් රාමනාදන්, කාන්තාවන්ට ඡන්ද බලය ලබාදීම ‘ඌරන් ඉදිරියට මුතු විසිකිරීමක්’ ලෙස අර්ථකථනය කොට ඇත. එයින් පැහැදිලි වන්නේ රටේ ව්‍යවස්ථාදායකය කෙරෙහි බලපෑම් එල්ල කිරීමට කාන්තාව සතුව හැකියාව සහ ඇයගේ සබුද්ධිකභාවය පිළිගැනීමට අකැමැති මහජන නියෝජිතයන් අතීතයේ පටන් ම සිට ඇති බවයි. නමුත්, සර්වජන ඡන්දබලය හිමිවීමත් සමඟම කාන්තාවට දේශපාලන කටයුතු සඳහා මැදිහත්වීම කෙරෙහි නෛතික හැකියාව ලැබිණි.

දේශපාලන නායිකාවක ලෙස කාන්තාවන් පත්වීම පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී ප්‍රකට වන ප්‍රධාන කාරණා දෙකකි. ඒ, ධනය සහ දේශපාලන බලය ඇති පවුල්වල කාන්තාවන් පමණක් මහජන නියෝජිතවරියන් වශයෙන් මැතිවරණයන්ට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම හෝ තම පියාගේ, ස්වාමියාගේ හෝ සහෝදරයාගේ මරණයෙන් පසු හෝ තනතුරෙන් ඉවත්වීමෙන් පසු හිස් වූ මන්ත්‍රී ආසනය පිරවීමට දේශපාලනයට එක්වීම ය. 1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණු ඇඩ්ලින් මොලමුරේ, පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිඳයි. එතැන් පටන් රාජ්‍ය මන්ත්‍රණ සභාවටත් අනතුරුව පාර්ලිමේන්තුවටත් පත්වූ මන්ත්‍රීවරියන් සලකා බැලීමේදී මෙම ලක්ෂණය පැහැදිලිව කැපී පෙනේ. ලංකාවාසීන් විසින් ‘මැතිනිය’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිරිමාවෝ බණ්ඩාරනායක, හිටපු අගමැති එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ බිරියයි. හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද දේශපාලනයට එක්වන්නේ එකී පවුල් පසුබිම තුළින්ය.

එමෙන් ම, එම දෙපළ ද ඇතුළු බොහෝ කතුන් ක්‍රියාකාරී දේශපාලනයට සහ තනතුරුවලට එළඹ ඇත්තේ ස්වාමිපුරුෂයාගේ හෝ පියාගේ මරණින් පසුව ය. ලංකා දේශපාලනයේ මෑත ඉතිහාසයේ නිදර්ශන අතර, තම ස්වාමි පුරුෂයන්ගේ මරණින් අනතුරුව දේශපාලනයට පිවිසි ෆේරියල් අෂ්රොෆ්, ශ්‍රීමනී ඇතුළත්මුදලි, ශ්‍රීමා දිසානායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි කතුන් දැක්විය හැකි ය. පියාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි කතුන් අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙයි. එහෙත් ඔවුන්ගේ දේශපාලනික ගමන්මගේ ඉදිරි පැවැත්ම තීරණය වී ඇත්තේ ඔවුන්ගේ පෞරුෂය, නායකත්ව ගුණාංග, තීරණ ගැනීමේ හැකියාව, දේශපාලනික සාක්ෂරතාව ආදී කාරණා මත පදනම්ව බව පෙනේ. ඇතැම් කාන්තාවන් ඉතා කෙටි කලක් තුළ පසුබැසීමට ලක්ව ඇත්තේ ඉහත කී අංශවල පැවති දුර්වලතා හේතුවෙනි.

මෙකී කාරණා දෙක හැරුණුවිට මෑතකාලීන ලාංකේය කාන්තා දේශපාලනයට එක්වූ චරිත බෙහොමයක් සමාජයේ ජනප්‍රිය චරිත ය. බොහෝවිට, නිළියන්, ක්‍රීඩිකාවන් වැනි වෙනත් අංශයන්හි දක්ෂතා පෙන්වූ කාන්තාවන් ඡන්දය ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස පිරිමි දේශපාලන නායකයන් විසින් යොදාගනු ලැබූ ආකාරය දක්නට ඇත. රෝසි සේනානායක, ගීතා කුමාරසිංහ, උපේක්ෂා ස්වර්ණමාලි වැනි කාන්තාවන් මේ සඳහා උදාහරණය.

මේ හේතුවෙන් දේශපාලනය සඳහා සාමාන්‍ය පවුල්වල කතුන් නොපිවිසෙන තත්ත්වයට ලංකා දේශපාලනය පත්ව තිබීම අභාග්‍යසම්පන්න කාරණයකි. එබැවින් රටේ නීති සම්පාදනය සහ පාලනය උදෙසා අත්‍යවශ්‍ය දායකත්වයක් දැක්වීමට කාන්තාවට ඉඩ නොලැබී යාම කනගාටුදායක තත්ත්වයකි. මේ සඳහා හේතුපාදක වූ කාරණා රාශියක් ලංකා දේශපාලන සංස්කෘතිය තුළ පවතින බව පෙනී යයි.

ලංකාවේ දේශපාලන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී යැයි නම් දරා ඇතත් එහි ක්‍රියාත්මක පසුතලය සැකසී ඇත්තේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නොවීම කාන්තාවන්ගේ දේශපාලන ආගමනය අඩාළ වීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධකයකි. ලංකාව තුළ ක්‍රියාත්මක වන නාමික ප්‍රජාතන්ත්‍රවාදය අතීතයේ පටන්ම ක්‍රියාත්මක වන්නේ වැඩවසම් ක්‍රමයෙන් ශේෂ වූ පුරුෂ මූලික රාමුවක් තුළ ය. වර්තමානය වනවිටත් දේශපාලන පක්ෂ සියල්ලන්ගේම පාහේ නායකත්වය දරන්නේ ද පුරුෂයන් ය. යම් කාන්තාවකට ඇය නියෝජනය කරන පක්ෂයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවකාශය ලබා දෙන්නේ ද යන්න පිළිබඳ තීරණය පවා ගනු ලබන්නේ පුරුෂයන් විසිනි.

ආරම්භයේ පටන්ම ලාංකේය සංස්කෘතිය තුළ කාන්තාවගෙන් ඉටුකරගැනීමට අපේක්ෂා කොට ඇත්තේ කුටුම්භ සංරක්ෂණය හා එහි සංවර්ධනය පිණිස අදාළ කටයුතුයි. පසුකාලීනව පවුල් ආර්ථිකයට උරදීම පිණිස කාන්තාව අධ්‍යාපනය සහ රැකීරක්ෂා සඳහා උත්සුක වුව ද දේශපාලනය වැනි භාරදූර කර්තව්‍යයක් උදෙසා කාන්තාවගේ නායකත්වය අපේක්ෂා කරන සංස්කෘතික වටපිටාවක් ලංකා සමාජය තුළ නොපැවතිණි.

මේ හැරුණු විට, ආරම්භක අවධියේ පැවති මහත්මා දේශපාලනය බිඳවැටී දේශපාලනය යනු ජරාජීර්ණ සංස්ථාවක් බවට පත්ව එය උගත්කමින් සහ සදාචාරයෙන් වියුක්ත ක්‍රියාකාරීන් අතට පත්වීම ද කාන්තාව දේශපාලනයෙන් ඈත්කර තබන්නට හේතුවක් වී ඇත. තව ද, ලංකේය දේශපාලනයේ මෑත ඉතිහාසයේ ගමන්මඟ හුදෙක් දූෂිත වන අතරම, බලඅරගලය මත පදනම්ව කුමන හෝ සාහසික ක්‍රියාවල නිරත විය හැකි අන්දමේ වාතාවරණයක් ඒ තුළ ගොඩනැඟී තිබෙනු දැකිය හැකි ය. ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වයට අකැමැති ජීවියෙක් වන ස්ත්‍රිය දේශපාලනයෙන් ඈත්කොට තබන්නට මෙය ද හේතුවක් වන්නට ඇත.

එමෙන් ම, පුරුෂ මූලික දේශපාලන සංස්ථාව තුළ ක්‍රියාත්මක කාන්තා හිංසනය ද මේ සඳහා හේතුපාදක වී ඇති අන්දම පෙනේ. ස්ත්‍රී දේශපාලන නායිකාවන්ට මැතිසබය තුළ එල්ල වූ අතිශය පහත් සහ නින්දිත වාචික හිංසනය මෙන්ම කායික හිංසනයන් ද දකින්නට තරම් ලාංකේය කාන්තාවන් පසුගිය වකවානුව තුළ අවාසනාවන්ත විය. එවැනි අවස්ථාවලදී අසාධාරණයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් හඬනඟන්නට සහෝදර කාන්තා මන්ත්‍රීවරියන් පවා ඉදිරිපත් නොවනු දැකිය හැකිවීම අභාග්‍යයකි.

මේ සියලු අභියෝග දරා ගනිමින් හෝ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම සඳහා කැමැති වුවත් ඒ සඳහා කාන්තාවන් නොපෙළඹීම පිණිස බලපාන කරුණු ද පවතියි. විශේෂයෙන්ම, මෑත භාගයේ දේශපාලනයේ නියුතු කාන්තාවන්ගේ අශීලාචාර හැසිරීම සහ වාග් සංවරයෙන් තොරවීම කාන්තා දේශපාලනයේ ඇදවැටීමට හේතුවක් වන බව පිළිගත යුතු සත්‍යයකි. දේශපාලනයට පිවිසි ජනප්‍රිය කාන්තාවන්ගේ දේශපාලන සාක්ෂරතාවේ දුර්වලතාව සහ රටේ උන්නතිය පිණිස කටයුතු කිරීම සම්බන්ධ දැනුමෙන් සහ ප්‍රායෝගික අවබෝධයෙන් තොරවීම මෙන් ම, රාජ්‍ය පාලනය පිණිස කිසිදු දායකත්වයක් නොදැක්වීම කාන්තා දේශපාලනය කෙරෙහි රටේ ඡන්ද දායකයාගේ විශ්වාසය පලුදු වීම පිණිස ද හේතු වී තිබේ.

කෙසේ වෙතත්, කාන්තාව දේශපාලන වශයෙන් සවිබලගැන්වීමටත්, බිම් මට්ටමේ සිට කාන්තා දේශපාලන ක්‍රියාකාරිනියන් දේශපාලනය කෙරෙහි ආශක්ත කරගැනීමටත්, සාමාන්‍ය පවුල්වලින් ද දේශපාලනය පිණිස කාන්තාවන් පොළඹවා ගැනීම පිණිසත් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමේදී කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම සඳහා 25% කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ද 2017 සිට රජය විසින් හඳුන්වා දී ඇත. එසේ වුවත්, කාන්තාව දේශපාලනය කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාව සාධනීය මට්ටමට නංවා ගැනීමට ලංකාව අපොහොසත් වී ඇත. කාන්තා දේශපාලනයේ මෙකී පසුබෑම ලෝක ප්‍රජාව විසින් රටක් වශයෙන් අප ස්ත්‍රිය කෙරෙහි සමානත්වයෙන් නොසලකන බවට අර්ථකථනය කරනු ලැබීමට හේතුවක්ව තිබේ.

කාන්තාව දේශපාලනයට යොමුවීම තුළින් ශ්‍රී ලංකාව විසින් අත්කරගත යුතු ජයග්‍රහණ රාශියක් පවතියි. අනෙක් අතට, කාන්තාව දේශපාලනික වශයෙන් සවිබලගැන්වීම, පුරුෂ මූලික දූෂිත දේශපාලනය මර්දනය කිරීමට ද උපකාරී වේ. ඇය සතු අසීමිත දරාගැනීමේ හැකියාව සහ බහුකාර්ය කෙරෙහි දක්වන සුහුරුභාවය පාලන තන්ත්‍රය කෙරෙහි ද බලපාන්නේ නම් එය යහපත් ජනසමාජයක් බිහිකිරීමට අඩිතාලමක් සකසනු ඇත. එමෙන් ම, රටේ වැදගත් නීති සහ අණපනත් ආදිය සම්පාදනය කිරීමේදී ස්ත්‍රී සහ පුරුෂ යන දෙපිරිසගේ ම ආකල්ප පිළිබඳ අවධානය යොමුවීම ද සිදු වේ. මෙතෙක් සංස්කෘතික වශයෙන් පසුබෑමකට ලක්ව තිබූ සියලු ම අංශවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම කෙරෙහි එම ප්‍රවේශය මහත් පිටිවහලක් වනු ඇත.

විශේෂයෙන්ම, ලංකා සංස්කෘතිය පුරුෂයාට වඩා කාන්තාවගේ වාග් සංවරය සහ සදාචාරාත්මක පැවැත්ම අපේක්ෂා කරන අයුරින් සකස්වූවකි. එබැවින්, කාන්තා දේශපාලන නායිකාවන් ඡන්ද දායකයාගේ සංස්කෘතික මනස වටහාගත යුතු ය. දේශපාලනික සාක්ෂරතාව සහ රාජ්‍ය නීති සම්පාදනයට අදාළ දැනුම වර්ධනය කරගැනීම පිණිස ඔවුන් වැඩිදුර අධ්‍යාපනය කෙරෙහි යොමු විය යුතු ය. තමන්ට ආවේණික වූ කාන්තා ගුණාංග මෙන්ම, දේශපාලනය කෙරෙහි අවශ්‍ය ශක්‍යතා වැඩිදියුණු කරගත යුතු ය. සදාචාර සම්පන්න සහ ජනතා විශ්වාසනීයත්වය ගොඩනඟා ගත හැකි අන්දමේ වාග් විලාසය සහ ඇවතුම් පැවතුම්වලින් සන්නද්ධ වීම තුළින් කාන්තා පෞරුෂය වැඩිදියුණු කරගත යුතු ය. එමෙන් ම, රටේ හරි අඩකටත් වඩා වන කාන්තා ඡන්ද දායිකාවන්ගේ සබුද්ධික වගකීම විය යුත්තේ නැණවත් සහ නීතිගරුක කාන්තාවන් පාර්ලිමේන්තුව සඳහා තෝරා පත්කරගැනීම වෙනුවෙන් තමාගේ වටිනා ඡන්දය භාවිත කිරීමට අදිටන් කරගැනීම ය.

ආචාර්ය ඉරෝමී ආරියරත්න, 
පාලි හා බෞද්ධ අධ්‍යයන 
පශ්චාත් උපාධි ආයතනය, 
කැලණිය විශ්වවිද්‍යාලය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT