ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ඔබ ලංකා ගුරු සංගමයේ උප සභාපතිවරයාද වශයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙතෙක් ආ ගමන් මග පැහැදිලි කිරීමක් කළ හැකිද?
අපේ රට සියවසක් අත් හැරපු රාජ්‍යයක්. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ගත්විට අපි තාක්ෂණයෙන්, දැනුමෙන්, කර්මාන්ත සහ සංස්කෘතියෙන් වගේ හැම දේකින්ම පිටුපසයි ඉන්නෙ. අපි බලාපොරොත්තු වෙන්නෙ මේ රට පසුකර ගියපු සියවස නැවත ඉක්මනින්ම අපේ රටේ ජනතාවට ළඟා කරදීමටයි. අපේ රටේ ජන ඝණත්වය වැඩියි. වර්ග කිලෝමීටරයට සාමාන්‍යයෙන් 335 ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. ලෝකයේ දියුණු රාජ්‍යයකත් ඊට වඩා අඩු ප්‍රමාණයක් ඉන්නෙ. අපේ රටේ වැදගත්ම සම්පතක් ලෙස මානව සම්පත සංවර්ධනය කළ යුතුයි. මානව සම්පත සංවර්ධනය කිරීමේදී වැදගත් වන්නේ අධ්‍යාපනයයි. අපේ රටේ යල්පැන ගිය අධ්‍යාපනයක් තිබෙන්නෙ. සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයක් තුළ විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් තමයි තිබෙන්නෙ. පුලුල් වී තිබෙන රැකියා අවස්ථා සඳහා නිවැරදි වෘත්තිකයන් ගොඩ නංවන තැනකට මඟ පෙන්වන අධ්‍යාපන ක්‍රමයක් දක්වා යෑමට අවශ්‍යයයි කියන අදහස ලංකා ගුරු සේවා සංගමය ලෙස කාලයක සිට කතා කළා. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වී තිබෙන්නේ අපේ රටේ මානව සම්පත වෘත්තිකයන් බවට පත් කරලා ලංකාවේත්, ලෝකයේත් රැකියා අවස්ථා සඳහා යොමු කරන්නත්, හොඳ පුරවැසියන් බිහි කරන්නත්, රටේ ජාතික ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නත් කල්පනා කළා. ඒ වෙනුවෙන් අපි කාලයක් තිස්සෙ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කරපු කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස නව ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
දේශපාලන ධාරාවේ කොතෙක් පක්ෂ තිබුණද දියවන්නා සටන ජය ගැනීම සඳහා ඔබ ඉදිරිපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙසයි. මේ තෝරා ගැනීම සහ ජාතික ජන බලවේගය පිළිබඳව ඔබ තබා ඇති විශ්වාසය පැහැදිලි කළොත්?
දේශපාලන පක්ෂ ගොඩක් තියනවා තමයි. නමුත් ලංකාවේ දේශාපාලන පක්ෂ සියල්ලම සමානයි. බෝර්ඩ් විතරයි වෙනස් වෙන්නෙ. නමුත් ඒ 2022 වර්ෂයේ අප්‍රේල් 12 වැනිදා වෙනකොට පෙන්නුවා. ඒ ගෙන ආපු දේශපාලන ප්‍රතිපත්ති ලංකාව සම්පූර්ණයෙන්ම පරාජිත රාජ්‍යයක් කරලා ලෝකය ඉදිරිපිට පරාජිත රාජ්‍යයක් බවට පත් කළා. පක්ෂ මාරුවෙන් මාරුවට කරපු දේවල්වල ප්‍රතිඵලය තමයි ඒ පේන්න තියන්නෙ. ලෝකයේ තිබෙන නව නිෂ්පාදන, තාක්ෂණය, කරා යන්න ආරම්භයක් අපි ගන්නවා. ජාතික ජන බලවේගය කියන්නෙ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වූ දේශපාලන දැක්මක් සහිතව වැඩ කරන ව්‍යාපාරයක් නිසා අපි සිතනවා ඒ තෝරා ගැනීම හරි කියලා.
ඔබ මේ මැතිවරණයට එන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ නියෝජනය කරමිනුයි. එම ප්‍රදේශවල වතු කම්කරුවන් පසුගිය කාලයේ විවිධ දේශපාලන පොරොන්දුවලට රැවටුණා. ඔබ රජයේ පාලනයක් යටතේ එම වතු ජනතාවට සාධාරණයක් ඉටු කළ හැකිද?
හාලිඇළ ආසනය ගත්තොත් ජනගහනය සියයට 35 ක් පමණ තමයි ඉන්නෙ වතු ප්‍රජාව, මුල් යුගයෙ නම් ඔවුන් වැඩි ප්‍රමාණයක් වතුවල රැකියාව කළා. තරුණ පරපුර ඒ දේවල් අත හැරලා තිබෙනවා. අවුරුදු 201 කට පෙර ඒ අයගේ මුතුන් මිත්තන් ඇවිල්ලා තමයි වනාන්තර බවට පත් වෙලා තිබුණ ඉඩම් සාරවත් භූමි බවට පත් කළේ. නමුත් ඒ අයට වතුවල බිම් අඟලක් නැහැ. ලයින් කාමර ඇතුළෙ ඉතාමත්ම දුක්ඛිත ජීවිත ගත කරන්නෙ. ජීවත් වීමට සරිලන වැටුපක් ලැබෙන්නෙ නැහැ. මාසෙ දින කිහිපයක් පමණයි වැඩ හම්බ වෙන්නෙ. කෑම ටිකක් දීලා එයාලගෙ ඡන්දෙ ගන්න තමයි පුරුදු වෙලා හිටියෙ. ඒ යුගය අපි අවසන් කරනවා.
ජනාධිපතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබීමට හේතු වූ ප්‍රමුඛතම කරුණක් වූයේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීමයි. ඉදිරි කාලය තුළ එම විශ්වාසය රැක ගෙන ආණ්ඩුව ගෙන යා හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට පැවතුණ දේශපාලන පක්ෂවලට වඩා වෙනස්. ඒක විශේෂ වෙන්නෙ අපේ තිබෙන්නේ තනි පුද්ගල වීරකම් සහ තනි පුද්ගල හැකියාවන් මත දුවන පාලනයක් නෙමෙයි. අපි පක්ෂයක් ලෙසත්, පක්ෂය වටා එකතු වී සිටින ප්‍රගතිශීලී ජනතාවත් විශාල ප්‍රමාණයක් කොටස්කරුවන් බවට පත්ව තිබෙනවා. රට ගොඩ නඟන ඇත්ත උවමනාව තිබෙන කණ්ඩායමක ක්‍රියාකාරීත්වය මත තමයි අපේ ජාතික ජන බලවේගය ගොඩ නගලා තිබෙන්නෙ. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට මෙතෙක් ඒ දූෂිත පාලකයන් විසින් ඉවත් කරන ලද සතුට සහ ආර්ථික නිදහස ගොඩ නගන්න ජාතික ජන බලවේගය විදියට අපිට හැකියාව තිබෙනවා කියලා. ඒ විශේෂයෙන්ම අපි තනි පුද්ගලයෙක් ලෙස නෙමෙයි පක්ෂයක් ලෙස වැඩ කරන කරන නිසයි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් රට ඉදිරියට ගෙන යා හැකි පළපුරුදු කණ්ඩායමක් ජාතික ජන බලවේගය සමඟ නැති බවට විවිධ කණ්ඩායම් දේශපාලන වේදිකාවල මැසිවිලි නගනවා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?
පලපුරුදු නායකයන් කියා ගත්ත පිරිසම තමයි අවුරුදු 76 ක් අවසන් වන තෙක්ම මේ දක්වා රට පාලනය කළේ. ලෝකය ඉදිරියේ අවසමත්, ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රාජ්‍යයක් විදියට ඒ අය පාලනය අවසන් කරා. හැකියාව, අත්දැකීම්, පලපුරුද්ද කියන දේවල් ඒ අය රට බංකොලොත් කරන දිශාවටයි හොඳටම පෙන්වලා තිබෙන්නෙ. දූෂිත, උගත්කමක් නැති පිරිසක් එකතු වෙලා කරපු පාලනයක් තමයි අපේ රටේ තිබුණෙ. ඌව පලාතේ හිටපු අධ්‍යාපන ඇමැතිට සාමාන්‍ය පෙළවත් නැහැ. ඒවගෙ ප්‍රතිඵලයක් ලෙස තමයි රටේ දුප්පත්ම පළාතක් විදියට ඌව පළාත තිබෙන්නෙ. රටේ ජාතික ආර්ථිකයට ඌව පළාතේ දායකත්වය සියයට 4 දක්වා පහළට යනවා. එවැනි අය තමයි පාලනය කළේ. අපි විශ්වාස කරනවා අපි ළඟ ඉන්නෙ දූෂණ සහ හොරකම් කරන්න පලපුරුදු අය නෙමෙයි. වැඩ කරන, බුද්ධිමත්, උගත්, රට ගොඩනඟන්න හැඟීමක් තිබෙන කණ්ඩායමක් අපිත් සමඟ ඉන්නවා. කලින් පාලන සමයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු 155 ක් පමණ කරපු පාලනය පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තුව කියන කිසිම දෙයක් නැතුව රට බංකොලොත් කරලා තියද්දිත් තුන් දෙනෙක් කිසිම ගැටලුවක් නැතුව මේ රට පාලනය කරගෙන යනවා.
නෙත්මි පූජනී රත්නායක